Sunday, September 8, 2024

General line - 0115112241

පුංචි ඡන්දයට අදාල ගැසට් නිවේදනයේ මූලික කටයුතු අවසන් (UPDATE)

මේනකා රත්නායක




පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව දක්වමින් නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනය සඳහා මේ වනවිට අංක වෙන් කර තිබෙනවා. ඒ අනුව, මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරෙන්නේ ඊයේ (02) දිනැතිවයි. 

විෂයභාර අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාෆා මෙම ගැසට් නිවේදනයට  පෙරේදා අත්සන් තැබුවා. එය ඊයේ දහවල් තමන් වෙත ලැබුණු බවයි රජයේ මුද්‍රණාලය පැවසුවේ. 

මේ අතර මෙම ගැසට් නිවේදනය අපේක්ෂිත පරිදි නිකුත් කෙරුණහොත් පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස විසි වනදාත් 31 වැනිදාත් අතර දිනෙක පැවැත්වීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පැවසුවා. 
-------------------------------------------

පුංචි ඡන්දයට අදාල ගැසට් නිවේදනය මුද්‍රණාලයට! මුද්‍රණයට කල් ඉල්ලයි

02-11-2017 14:32

පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට රජයේ මුද්‍රණාලයට යවා තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයේ ප‍්‍රකාශයකු කියාසිටියේ අද දහවල් ඊට අදාළ ලේඛන මුද්‍රණ කටයුතු සඳහා ලැබුණු බවයි.

කෙසේ වෙතත් සංශෝධන කිහිපයක් දැනුම් දී ඇති බැවින් සහ සෝදුපත් කියවීමට ඇති බැවින් මුද්‍රණය සඳහා සැලකියයුතු කාලයක් ගතවනු ඇතැයි වැඩිදුරටත් පැවසුවා.  

පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අත්සන් තැබුවේ ඊයේ දිනයේදීයි. එහෙත් එය මුද්‍රණය කටයුතු සඳහා අද උදෑසන වනතෙක්ම රජයේ මුද්‍රණාලයට ලැබී තිබුණේ නැහැ.
 

----------------------------------------------------

අත්සන් කළ ගැසට් නිවේදනය මුද්‍රණාලයට ගිහින් නැහැ

02-11-2017 06:32

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ගැසට් නිවේදනයට විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ (01) අත්සන් කළද එය මෙතෙක් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

එහි සහකාර මුද්‍රණාලාධිපති ගාමිණි වික‍්‍රමසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊට අදාළ අංකයක් හෝ මෙතෙක් වෙන් කිරීමට කිසිවෙකු දැනුම් දී නොමැති බවයි.

ගැසට් නිවේදනයක් මුද්‍රණය කිරීමට ඒ සඳහා අංකයක් ලබාගැනීම එහි පළමු අදියර වනවා. අත්සන් කළ ගැසට් නිවේදනය ලැබුණු වහාම එය මුද්‍රණයට යොමු කිරිමට කටයුතු කළ හැකි බවයි සහකාර මුද්‍රණාලාධිපති ගාමිණි වික‍්‍රමසිංහ වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම ඊයේ (01) තීරණය කළා.

ඒ අනුව නාමයෝජනා කැඳවීම් දැන්වීම ලබන 27 වැනිදායින් ආරම්භ වන සතිය තුළ නිකුත් කිරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

පළාත් පාලන ඡන්ද විමසීම ජනවාරි 20ත් 31ත් අතර ඉරිදා දිනක හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නාමයෝජනා පිළිබඳ දැන්වීම් පළකරනු ලබන දිනය, නාමයෝජනා කාලසීමාව සහ ඡන්ද විමසීම පැවැත්වෙන නිශ්චිත දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.