Friday, October 18, 2024

General line - 0115112241

නෙත් එෆ්.එම් 12 වැනි උපන් දිනයට ජනපති අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගෙන් සුබ පැතුම්

හේමන්ත කහවලගේ




නෙත් එෆ් එම් රේඩියෝව අද සිය 12 වන වර්ෂ පූර්ණය සමරනවා. 2005 වසරේ නොවැම්බර් මස 3වනදා උදෑසන 9.40ට නිල වශයෙන් ඇරඹි නෙත් එෆ් එම් රේඩියෝව ගත වූ වසර 12 පුරාම උත්සාහ කළේ යහපත් මාධ්‍ය භාවිතයක යෙදෙමින් ශ‍්‍රාවකයාට නිවැරදි මග පෙන්වීමක් කිරීමටයි. 

විවේචනවලට සීමා නොවී වගකිම් ඉටු කිරීමට ක‍්‍රියාවෙන් පෙරට ආ යුතු බව ආදර්ශයෙන් පෙන්වා දීමට ද නෙත් එෆ් එම් රේඩියෝව උත්සාහ කරමින් සිටිනවා. වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ විවිධ මෙහෙයුම් සංවිධාන කෙරෙන්නේද ඒ අනුවයි.

අවශ්‍යතා සහිත තැනැත්තන් සහ ආයතන හඳුනාගෙන ඔවුන්ට සහය වීම සඳහා දිරිය නෙත් ක‍්‍රියාන්විතය සිදු කෙරෙනවා. ස්වභාවික ආපදා අවස්ථාවලදී විපතට පත් වූවන් බේරා ගැනීමට සහ ඔවුන්ට ආධාර ලබා දීමටත් අඩු පහසුකම් සහිත පාසල් සහ විහාරස්ථාන නගා සිටුවීමටත් නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කරන්නේ දිරිය නෙත් ක්‍රියාන්විතය හරහායි.

පාසල් දරු දැරියන් සහ සිසු ප‍්‍රජාව නායකත්වයට බල ගැන්වීම ද නෙත් එෆ් එම් රේඩියෝවේ තවත් උත්සාහයක් වනවා. නෙත් නිවුස් යු ආර් අ ලීඩර් වැඩසටහන එහි එක් අවස්ථාවක්. 

නෙත් එෆ් එම් රේඩියෝවේ සියලූ වැඩසටහන් ජනතා ප‍්‍රසාදයට සහ සම්මානයට පාත‍්‍ර වී තිබෙනවා. බැලූම්ගල වැඩසටහන අවස්ථා ගණනාවකදී ජාතික සහ ජාත්‍යන්තර සම්මානවලට පාත‍්‍ර වුණා. 

නෙත් ස්පෝර්ට්ස්මන් වැඩසටහන ද නෙත් එෆ් එම් රේඩියෝවේ සම්මානනීය වැඩසටහන්වලින් එකක්. නෙත් එෆ් එම් රේඩියෝවේ ආගමික වැඩසටහන් සහ ළමා වැඩසටහන් ද බොහෝ දෙනාගේ අගය කිරීිමට ලක් වනවා. වාර්තාකරණයට සිමා නොවී ජනතාවට සත්‍ය වටහා ගැනීම සඳහා ගවේෂණාත්මක මග පෙන්වීමක් කිරීම හේතුවෙන් නෙත් නිවුස් කෙරෙහි ද බොහෝ දෙනාගේ ඇත්තේ ඉහල ප‍්‍රසාදයක්. 

පුරා වසර 12ක් මෙතරම් සාර්ථක ගමනක් පැමිණිමට නෙත් එෆ් එම් රේඩියෝවට ධෛර්යය වූයේ ශ‍්‍රාවක ඔබයි. ඔබට අපේ ප‍්‍රණාමය.

-----------------------------------------------------------

 ජනපති අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගෙන් සුබ පැතුම්

සිය 12වන වර්ෂ පූර්ණය සමරන නෙත් එෆ් එම් රේඩියෝවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සුබාසිංශන පළ කරනවා. ගවේෂණාත්මක මාධ්‍ය කලාව සාර්ථක ලෙස අත්හදා බලමින් නෙත් එෆ් එම් රේඩියෝව ඉදිරියට ගමන් කරමින් සිටින බවයි එම සුබාසිංශනයේ දැක්වෙන්නේ. මාධ්‍ය භාවිතයට වගකීම් සහගත ආදර්ශයක් සපයන නෙත් එෆ් එම් රේඩියෝව අසන්නන්ගේ රසවින්දනයට, ප‍්‍රවෘත්ති පිපාසාවට මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතියට ද සාධාරණය ඉටු කිරීමට සමත් වී සිටින බවද ජනාධිපතිවරයා පවසනවා.

 --------------------------------------------------------
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද පැවසුවේ 12වන වර්ෂ පූර්ණය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝවට සුබාසිංශන පල කරන බවයි. 

---------------------------------------------------------
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද නෙත් එෆ් එම් රේඩියෝවේ 12වන වර්ෂ පූර්ණය වෙනුවෙන් සුබාසිංශන පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. කෙටි කාලයක් තුළ ජනතා විශ්වාසය දිනා ගනිමින් ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තටම ළඟා වීමට නෙත් එෆ් එම් රේඩියෝව සමත් වූ බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ. මව්බිමේ සංස්කෘතික , සමාජයිය හා දේශපාලනික අනන්‍යතාව සුරකිමින් වැඩසටහන් ඉදිරිපත් කිරීම ද නෙත් එෆ් එම්හි අගය කළ යුතු ලක්ෂණයක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. 

------------------------------------------------------------------ 
කතානායක කරූ ජයසූරිය මහතා පවසන්නේ  රටට හිතැති ජනහිතකාමී මාධ්‍ය මෙහෙවරක් වෙනුවෙන් කැපවූ ප‍්‍රමුඛතම නාලිකාවක් ලෙස නෙත් එෆ් එම් රේඩියෝව ඉහළම ස්ථානයක වැජඹෙන බවයි. නෙත් එෆ් එම් යනු ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ පරමාදර්ශි නාලිකාව බවද, වානිජකරණයට ගොදුරු වූ සමාජය තුළ මනුෂ්‍යත්වය හඳුනා ගැනීමට සිය ශ‍්‍රාවකයා මෙහෙයවීමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කරන බවද කතානායකවරයා පෙන්වා දෙනවා. 

--------------------------------------------------------------------

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ නෙත් එෆ් එම් රේඩියෝව යහපත් රටක් වෙනුවෙන් සිය වගකීම නොපිරිහෙළා ඉටු කරමින් සිටින බවයි.  ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී සෑම විටම මැදහත්බව රැක ගැනීමටත් ජනතාවට සත්‍ය සන්නිවේදනය කිරීිමටත් නෙත් එෆ් එම් රේඩියෝ නෙත් නිවුස් හරහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවුසවා. 
--------------------------------------------------------------------

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තම සුබාසිංශන එක්කරමින් පවසන්නේ නෙත් එෆ් එම් රේඩියෝව ඉටුකරනා සමාජ සේවය ඉමහත් බවය. දිරිය නෙත් වැනි වැඩසටහන් වලින් එය මනාව පැහැදිළිවන බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, තවදුරටත් ජනතා මෙහෙවර ඉටු කිරීමට නෙත් එෆ්.එම් රේඩියෝවට අවස්ථාව උදාවේවායි ප්‍රාර්ථනා කරනවා.
-----------------------------------------------------------------

නෙත් එෆ්.එම් රේඩියෝව ගෙවී ගිය දොළොස් වසර තුළ ඉතා සාර්ථක ගමනක් පැමිණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා තම සුබාසිංශන පිරිනමමින් පැවසුවා. ඉදිරියටත් සාර්ථකව ශක්තිමත්ව සන්නිවේදන කටයුත්තේ නියැලීමට ධෛර්ය ශක්තිය ලැබේවායිද මන්ත්‍රීවරයා පවසනවා.

නෙත් නිව්ස්, බැලුම්ගල, ආගමික වැඩසටහන් සම්බන්ධයෙන්ද සිහිපත් කළ මන්ත්‍රීවරයා ඉන් සිදුවන ආගමික සහ සමාජීය මෙහෙය අගය කළා.