Saturday, July 27, 2024

General line - 0115112241

නැව ආපු ගමන් ඉන්ධනහල්වලට තෙල් බලාපොරොත්තු වෙන්න එපා

සජිත් තිලකරත්න




රටම බලා සිටි ඉන්ධන රැගත් නෞකාව අද (08) රාත‍්‍රියේ දිවයිනට පැමිණියත් එහි ඉන්ධන ජනතාවට ලබා දීමට පෙර විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ පවසවා.

අදාළ නෞකාව ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණි පසු සිය නියෝජිතයින් පිරිසක් නැවට ගොස් එහි තෙල් සාම්පල් රැගෙන යළි පැමිණ රසායනාගාර තුළදී පරීක්ෂා කිරීම සිදු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සඳහා පැය 10ක පමණ කාලයක් ගතවෙනු ඇති බවද අනාවරණය කෙරුණා. 

කෙසේවෙතත් මෙම නෞකාව පැමිණීමත් සමග දින 5ක් පුරා පවතින පෙට‍්‍රල් හිඟයට සම්පූර්ණයෙන්ම විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම නෞකාව මගින් මෙරටට රැගෙන ඒමට නියමිත ඉන්ධන ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 40,000ක් පමණ වනවා.

මෙම නෞකාව තුළ රැගෙන එන ඉන්ධන සාමාන්‍ය පරිභෝජනය යටතේ දින 15කට ප්‍රමාණවත් බවයි වාර්තා වෙන්නේ. එයි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32750 ක් ඇති බවත් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ඇති බවත් අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

අදාළ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන බවට සටහන් කර තිබුණේ රාත්‍රි 11.30ට පමණයි.