Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා ජපානයේ පූර්ණ සහාය




ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් තවදුරටත් සහාය ලබාදෙන බව ජපාන ආරක්ෂක අමාත්‍ය ඉෂුනොරි ඔනොදෙරා (Itsunori Onodera) පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජපන් රජයේ විශේෂ ආරාධනයකට අනුව එරට විශේෂ සංචාරයක නිරත වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර පැවති සාකච්ඡාවේදීයී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව කේන්ද්‍රීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති බැවින් වෙරළාරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත් බවයි.

ඒ සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා නිරන්තර ආධාර හා තාක්ෂණික උපකරණ ලබාදෙන බව සඳහන් කර සිටියා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ජපාන සංචාරයත් සමඟ ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවති සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව ද ඔහු සඳහන් කළා.

මෙම විශේෂ හමුවේදී අදහස් පලකල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පැවසුවේ ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා නිරන්තර සහාය ලබාදෙන ජපන් රජයට ශ්‍රී ලංකා රජයේ විශේෂ ස්තූතිය පුදකරන බවයි.

ජාත්‍යන්තර නාවික වෙළඳ කටයුතු ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයට ආසන්නයෙන් සිදුවන බැවින් වෙරළාරක්ෂක කටයුතු කෙරෙහි ශ්‍රී ලංකා රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට පුහුණු ඉඩ ප්‍රස්ථා සහ නවීන නාවික යාත්‍රා ඒ සඳහා අත්‍යාවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා මෙමඟින් ජාත්‍යන්තර වෙළඳ නාවික ගමනා ගමන කටයුතු ද ආරක්ෂාකාරී වන බව කියා සිටියා.