මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින විදේශ රටකින් ගෙන්වන ලද ලොකු ළූණු කන්ටේනර් රථයක් ගලේවෙල දේවහුව බුලනවැව ප්‍රදේශයේ දී අද (17) පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අදාළ ලොකු ළූණු තවත් ලොරියකට පටවමින් සිටියදී කන්ටේනර් රථය සහ එම ලොරි රථය සැකපිට පොලිස් භාරයට ගත් බව ගලේවෙල පොලීසිය කියා සිටියේ.
ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් සහිතව කන්ටේනර් රථයකින් ලොකු ළූණු තොගයක් තවත් ලොරියකට මාරු කරමින් සිටින බව ගලේවෙල පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානාච්චි ඇතුළු පොලිස් කණ්ඩායමක් වහාම එම ස්ථානයට පිටත්ව ගොස් පරික්ෂා කර තිබෙනවා.
එහිදී මෙම ලොකු ළූණු තොගය කන්ටේනර් රථය තුළ ම පැල වී කුණු වී විනාශ වී ඇති අයුරු පොලිසියට දැක ගැනීමට හැකි වුණා.
මෙම ලොකු ළූණු ගෙන්වා ඇත්තේ කොළඹ වරායේ සිට බුලනවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව පොලිසිය පැවසුවා.
එම තැනැත්තා කියා සිටියේ නරක්වී ඇති ලොකු ළූණු ඉවත්කොට ආහාරයට ගැනීමට සුදුසු ඒවා පමණක් අලෙවි කිරීම සිදු කරන බවයි.
භාවිතයෙන් ඉවත් කරන ලොකු ළූණු තොග වරාය මගින් වෙන්දේසි කළ බවත් එම වෙන්දේසිය කිලෝවක් රුපියල් තිස් එක බැගින් තමන් මෙම ලොකු ළූණු තොග මිලදී ගත් බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා තිබෙනවා.
එහෙත් පොලිසිය කියා සිටියේ මිනිස් පරිභෝජනයට සුදුසු ද නුසුදුසුද යන්න තමන්ට කිසිඳු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.
කෙසේ වෙතත මෙම ලුණු නරක් වී ඇති නිසා තමා වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඔවුන්ගේ වාර්තාවක් කැඳවන බව පොලිසිය කියා සිටියා.
එතෙක් ලොකු ළූණු තොගය සහ ලොරි රථ 2 පොලිස් භාරයේ රඳවා තබා ඇති බවයි පොලිසිය කියා සිටියේ.