Saturday, October 19, 2024

General line - 0115112241

පින්නවල අලින්ට බෑ !




මහනුවර ශ්‍රී දළඳා පෙරහැරේ ගමන් ගත් ඇතුන් ගෙන් මිල්ලන්ගොඩ පොඩි රාජා මදකිපී ඇති නිසා මෙවර දළදා පෙරහැරේ ගමන් කිරිමට නොහැකි බව ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල පවසනවා.

මහනුවර ශ්‍රි දළඳා පෙරහැරේ දළදා කරඬුව වැඩමවීමට සිටිනුයේ පරිණත දළ ඇතුන් තිදෙනෙක් බවත් ඔවුන්ගෙන් පසු පෙරහැර කරඬුව වැඩමවීමට ගැටලුවක් මතුවන බවත් දියවඩන නිලමේවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කරඬුව වැඩමවීම සඳහා අඩි 9 ක් පමණ උස අවුරුදු 35-40 ක් වයසේ පසුවන සද්දන්ත දළ ඇතකු අවශ්‍ය බවත් දෑලේ ගමන් කිරීම සඳහා එම ප්‍රමාණයේම පරිණත දළ ඇතුන් අවශ්‍ය බවත් මෙම අඩුව පිරවීම සඳහා ඉන්දියාවෙන් එවැනි ඇතුන් ගෙන්වා ගත යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මහනුවර දළඳා පෙරහැර පැවැත්වෙන සමයේ දිවයිනේ වෙනත් පෙරහැරවල් නොමැති නිසා අලි ඇතුන් 75 ක් පමණ සහභාගි කරවා ගත හැකි බවද දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පෙරහරට යොදා ගත හැක්කේ බෙර හඬ, පන්දම් එළියට, වාහන ශබ්දයට හුරු වු අලින් නිසා පින්නවල සිටිනා අලි පෙරහැර සඳහා කිසිසේත් යොදා ගත නොහැකි බවයි ඔහු පවසන්නේ.