Tuesday, May 7, 2024

General line - 0115112241

වැව මැද දිස්වෙන දූපත සමග සංචාරකයන්ට අත වනන බොරලැස්ගමුව වැව (PHOTOS)

දිනේෂ් ප්‍රනාන්දු/ඡායා - රසික සංජීව 




බොරලැස්ගමුව වැව සංවර්ධනය කර සංචාරක ආකර්ෂණයක් සහිත කලාපයක් බවට එය පත් කිරීමේ වැඩකටයුතු ඊයේ (03) උදෑසන ආරම්භ වුණා.

වසර දහයක පමණ කාලයකින් කිසිඳු සංවර්ධනයකට හසු නොවුණු මෙම වැව සංවර්ධනය කිරීමේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 175 ක් ආයෝජනය කිරීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින බොරලැස්ගමුව වැවේ පිටවාන වැව් බැම්ම සහ ඉවුර විධිමත් වාරි තාක්ෂණික ක‍්‍රමවේද යටතේ සංවර්ධනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 50ක්.

නාවික හමුදාවේ දායකත්වය ඇතිව ඊයේ (03) දින සිට ආරම්භ වූ එම කටයුතු දින 30 කින් සම්පූර්ණ කෙරෙන අතර මෙම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වැව වටා කි.මි. 2.5 ක ශාරීරික ව්‍යායාම සඳහා ඇවිදින මං තීරුවක් ඉදි කිරීමට නියමිතයි.

පැරැන්නන් යෙදූ ක්‍රමෝපාය භාවිතා කරමින් අවටින් වැවට ගලා එන අපජලය වැලි ස්ථරය අතරින් පෙරී ස්වභාවිකව පවිත්‍ර වී නැවත වැවටම මුසුවන අයුරින් සිදු කිරීමට වාරි ඉංජිනේරුවන් මේ වන විටත් සැලසුම් කර තිබෙනවා.

මෙහි අවසන් වැඩ නිමවීමෙන් පසුව වැව මැද දිස්වෙන දූපත සංචාරකයන්ගේ ආකර්ෂණය වන ස්ථානයක් බවට පත් වන අතර මෙහි පැමිණෙන සංචාරකයන්ට විවේක ගැනීම සඳහා සුදුසු ස්ථානයක්ද, එළි මහන් රංගපීඨයක් හා රථ ගාලක්ද ඉදි කිරීමට යෝජිතයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති   නීතිඥ එරන්ද වැලිඅංගේ ප්‍රධානත්වයෙන්  වැව විධිමත්ව සංවර්ධනය කිරීම සිදුවනවා.