Thursday, May 2, 2024

General line - 0115112241

ජගත් සංවිධානයට ගැටළු මතු කළ ශ්‍රී ලංකාවේ දත්ත මෙන්න

වසන්ත පිවිතුරු




ජගත් සංවිධානයේ 77 වන සැසිවාරයට සමගාමිව ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ සැසිය  මේ දිනවල ජිනිවාහි දී ආරම්භ වී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව හා ඔවුන්ගේ අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍යය සහ පෝෂණය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කෙරුණා.

මෙම සැසිය ලබන 02 දා දක්වා පැවත්වීමට නියමිතව ඇති බව සඳහන්.

මෙම සැසිවාරය ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් සුරක්ෂිතාවය පිළිබඳව අවධානය යොමු කළ අතර යුද්ධයේ දී අතුරුදන් වූ ළමුන්ගේ සංඛ්‍යාව හා ශ්‍රී ලංකා රජය විසින් ලබාදී ඇති දත්ත අතර  පරස්පරතාවයක් පවතින බැවින් ජගත් සංවිධානයේ නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජගත් සංවිධාන දත්තවලට අනුව උතුරේ යුද්ධයේ දී අතුරුදන් වූ ළමුන්ගේ සංඛ්‍යාව 611ක්.

නමුත් ශ්‍රී ලංකා රජයේ වාර්තාවල අනුව යුද්ධයේ දී අතුරුදන් වූ ළමුන්ගේ සංඛ්‍යාව 594ක් වනවා.

යුද්ධයේ දී අතුරුදන් වූ ළමුන් මෙන්ම ළමා සොල්දාදුවන් ලෙස කටයුතු කරමින් සිටියදී හමුදා භාරයට ගත් ළමුන් සහ හමුදාවට භාරවූ ළමුන් සම්බන්ධයෙන් කුමක් සිදු කළේ ද යන්න පිළිබදව ශ්‍රී ලංකා රජයෙන් ජගත් සංවිධානය විමසීමක් කළා.

අවසන් යුද්ධයේ දී හමුදාවට භාරවුයේ ළමුන් 594 දෙනෙකු බවත් ඔවුන් සියළු දෙනා පුනරුත්ථාපනය ලබා යළි සිය දෙමාපියන් ඥාතීන් අතර සමාජගත කළ බවත් ජගත් සංවිධානයේ නියොජ්‍ය ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවි නාත ආරියසිංහ පිළිතුරු ලබාදුන්නා.

කෙසේ වෙතත් මෙම සැසිවාරය සඳහා උතුරු පළාත නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා සහභාගී වූණා.

එහිදී ඔහු කියා සිටියේ යුද්ධයේ අවසන් කාලසීමාවේ දී ළමුන් ‍2632 ක් අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ඉන් ළමුන් 1689 පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.

ළමුන් 611 ක් පිළිබඳව කිසිඳු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ.

ඉතිරි ළමුන් ළමා නිවාසවල සිටින බවට පුනරුත්ථාපන දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පරස්පර දත්ත සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නගින බවයි ජගත් සංවිධාන නිලධාරින් එහිදී පෙන්වා දී තිබෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ළමා විය සම්බන්ධයෙන් බලපවතින් වයස් සීමාව සම්බන්ධයෙන් ද ජගත් සංවිධානය ප්‍රශ්න කර කළා.

ශ්‍රී ලංකා නීතිය අනුව ළමා විය 16 ද? එසේ නොමැති නම් 18 ? යන්න පිළිබඳව ගැටළුවක් පවතින බවද ජගත් සංවිධානය පෙන්වා දුන්නා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ විවාහක වයස් සීමාව 14 ලෙස පැවතීම සම්බන්ධයෙන් ද මෙහිදී දැඩි විවේචන එල්ලවී තිබෙනවා.

 

.

.