Thursday, May 9, 2024

General line - 0115112241

පක්ෂ නායකයින් දෙන්නෙක් ජනපතිට නිළ වශයෙන් කළ දැනුම් දීම (UPDATE)

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන් ජයසේකර




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයින් අතර විශේෂ හමුව අද (29) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන හා ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස් දේවානන්දා ද සහභාගී වී නැහැ.

ඒ බව නිල වශයෙන් දැනුම් දුන් බවයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ද මීට පෙර ප‍්‍රකාශ කළේ තමන් ද මෙම සාකච්ඡාවට සහභාගී නොවන බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැති බව ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා. බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ අවධානය යොමු කිරීම මෙම පක්ෂ නායක රැස්වීමේ ප‍්‍රධාන අරමුණයි.

 

-------------------------------

රැස්වීමට එන්න බෑ කියන හේතු මෙන්න

(29-01-2018 05:41)

 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයින් අතර විශේෂ හමුව අද (29) පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 9.00ට ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවනු ඇති. බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ අවධානය යොමු කිරීම එහි ප‍්‍රධාන අරමුණක්. අදාළ වාර්තාවේ පිටු අඩුවී ඇති බවට පාර්ශ්ව කිහිපයක් ඉකුත් දින කිහිපයේ චෝදනා එල්ල කළා.

ජනාධිපතිවරයා මෙම පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන්ද කරුණු පැහැදිළි කරනු ඇති.

කෙසේ වෙතත් මෙම රැස්වීම වර්ජනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඊට හේතු කවරේදැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්ගෙන් නෙත් නිවුස් විමසිමක් කළා.

ඔහු සඳහන් කළේ පිටු ගණන අඩුවීම ගැන පක්ෂ නායකයින්ට තේරුම් කර ඵලක් නැති බවත් ඒ පිළිබඳව පැහැදිළි කළ යුත්තේ පාර්ලිමේන්තුවට බවයි. බැඳුම්කර වාර්තාවේ පිටු 1257ක් ඇති බව ජනාධිපතිවරයා ජනතාව අමතා මුලින් පවසා සිටි බවත් මේ වන විට නිකුත් කර ඇති වාර්තාවේ ඇත්තේ පිටු 946ක් බවත් සඳහන් කළා. ඇමුණුම්වල ඇති පිටු එකතු කළත් මුල් ගණන සම නොවන බවයි වැඩි දුරටත් සඳහන් කළේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල රැස්වීමට සහභාගී නොවන හේතුව පැහැදිලිි කළේ මෙලෙසින්.

"ඔය රැස්වීමේදී සිදු වන්නේ රඟපෑමක් පමණයි. මේකෙනුත් ආණ්ඩුව ඡන්ද වාසියක් ගන්න බලන් ඉන්නේ.." යනුවෙන් එහිදී සඳහන් කළා.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉකුත් දා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා. පළමුව තීරණය කෙරුණේ පෙබරවාරි මස 20 සහ 21 යන දිනවල ඊට අදාළ විවාදය පැවැත්වීමටයි. එහෙත් පෙබරවාරි මස 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා ඒ පිළිබඳ විවාද කිරීමටයි දැන් තීරණය වී ඇත්තේ.