Thursday, May 9, 2024

General line - 0115112241

පර්පචුවෙල් ‍ට්‍රෙෂරිස් සමාගමේ ගිණුම්වලට වෙන්න යන දේ ඇමති එරාන් කියයි

වසන්ත පිවිතුරු




මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට අයත් බැංකු ගිණුම් හැර එම සමාගම යටතේ පිහිටි සෙසු සමාගම්වලට අයත් දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවා ඇති ගිණුම් ඉදිරියේ දී මුදා හැරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසනවා.

අදාළ වංචාව සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා www.nethnews.lk කළ විමසීමක දී කියා සිටියේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවලට අදාළව මෙම සමාගමේ ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අධිකරණ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පර්පචුවෙල් ‍ට්‍රෙෂරිස් සමාගමේ ගිණුම් අත්හිටුවීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා www.nethnews.lk වෙත වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට අයත් සියළුම ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව පසුගියදා වාර්තා වුණා.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම සහ එම සමාගම යටතේ ක්‍රියාත්මක සියළුම සමාගම්වලට අයත් සෑම බැංකු ගිණුම්වල ඇති තැන්පත් මුදල් ඒ අනුව අදාළ බැංකු මගින් රඳවා ගන්නා ලෙසයි මහ බැංකුව නියෝග කර තිබුණේ.

මෙම නියෝගය පසුගිය බදාදා දින සිට බලාත්මක බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ.

අදාළ සමාගමට අයත් බැංකු ගිණුම්වල ඇති සම්පූර්ණ මුදල් ආපසු ලබාගැනීමට එම සමාගම තීරණය කර ඇති බවට ලැබුණු තොරතුරක් මත ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණය ලෙස තිබෙනවා.

නමුත් පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට අයත් ගිණුම්වල ඇති තැන්පත් මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රඳවා ගත්ත ද අදාළ සමාගම්වල දෛනික කටයුතු හා සේවක වැටුප් ගෙවීමට අව්‍යශ මුදල් ගණුදෙනු සිදු කළ හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර ද පර්පචුවෙල් ට්‍රෂරිස් සමාගමට අයත් රුපියල් බිලියන 12 ක තැන්පත් මුදල් සහ දේපළ මේ ආකාරයෙන් අත්හිටුවීමට කටයුතු කළා.