Thursday, May 9, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව 08ට පෙර කැඳවන්නැයි ශී‍්‍රලනිපයත් ඉල්ලයි - බැරි හේතුව එජාපය කියයි

නිශාන් ද සිල්වා / කසුන් කැළුම්




බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන වාර්තා පිළිබඳ විවාදය ලබන 08වනදාට පෙර පවත්වන්නැයි පාර්ශව කිහිපයක් ඉල්ලීම් කරනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා කියා සිටියේ මෙම වාර්තා පිළිබඳ විවාද කිරීමට පාර්ලිමේන්තුව ලබන 08වනදා කැඳවන බවයි.

එහෙත් අදාළ විවාදය  එදින පැවැත්වුවහොත් එයින් පළාත් පාලන මැතිවරණයට බාධාවක් සිදුවිය හැකි බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ඒ නිසා අදාළ විවාදය ලබන 08වනදාට පෙර පැවැත්වීම වඩාත් සුදුසු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොළඹ දී අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන අවස්ථාවක පාර්ලිමේන්තුව රැස්වීමෙන් මැතිවරණයට බලපෑමක් එල්ල වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද මේ පිළිබඳ අදහස් පළ වුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් එහිදී කියා සිටියේ සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව කැඳවන තෙක් නොසිට අදාළ විවාදය සඳහා පාර්ලිමේන්තුව කල් ඇතිව කැඳවීමට ජනාධිපතිවරයාටද හැකියාව ඇති බවයි.

මේ අතර ලබන 08වනදාට පෙර පාර්ලිමේන්තුව කැඳවිය නොහැක්කේ මන්දැයි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අද කරුණු දැක්වුවා.

ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් මැතිවරණ කටයුතු හේතුවෙන් ලබන 08වනදා දක්වා කාර්යය බහුල වී ඇති බවයි.