Thursday, May 9, 2024

General line - 0115112241

මැතිවරණයට පෙර "බරපතල වංචා හා දූෂණ - බැඳුම්කර ගනුදෙනු" ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි




මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) අද (30) දහවල් කථානායක කරු ජයසුරිය ගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබෙනවා.  නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල. අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ඒ. සුමන්තිරන් ඊට සහභාගී වී තිබෙනවා. 

මෙම අවස්ථාවට කථානායකවරයාගේ විශේෂ ඇරයුම පරිදි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සෙසු සමාජිකයන් දෙදෙනා වන ජනාධිපති නීතිඥ නලින් ජයන්ත අබේසේකර, මහාචාර්ය සැමුවෙල් රත්නජීව සහ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් සහභාගී විය. එළඹෙන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් පලකර ඇති අදහස් සහ එහිදී ඇති විය හැකි ප්‍රයෝගික තත්වයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රැස්වීමේ මූලික අවධානය යොමු විය.

කථානායක කරු ජයසුරිය පෙන්වා දුන්නේ ඔවුන් විසින් සාර්ථක අන්දමින් ඉටුකරමින් පවතින මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට බාධා නොවන ලෙස තීරණ ගැනීම සුඳුසු වන බැවින්, හැකියාවක් තිබේ නම් පෙබරවාරී 08 වන දාට පෙර දිනයක පාර්ලිමේන්තුව කැදවීම සඳහා සලකා බැලීම සුදුසු බවයි. පක්ෂ නායක රුස්වීමට එක් වූ බහුතර පිරිසද එය අනුමත කළා. මෙම කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යතුමන්ගේ ද මතය විමසා සිටි අතර, එතුමන් දන්වා සිටියේ පෙබරවාරී 06 දින පාර්ලිමේන්තුව රැස්කිරිම යෝග්‍යවනු ඇති බවයි. ඒ අනුව ස්ථාවර නියෝග 14 යටතේ, එදින පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කථානායකවරයාගෙන් නිල වශයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනු ඇති බව කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.