Thursday, May 9, 2024

General line - 0115112241

කන්න දෙයක් නැති තැන කෝවක්කා ගෙඩි කා මිය ගිය 7 හැවිරිදි දරුවාගේ සිරුරට රෝහලේ දී වෙච්ච දේ

වසන්ත පිවිතුරු




මොන ගින්න නිවා දැමුවත් කුස ගින්න නිවා ගැනීමට අපගේ කුසට සුදුසු ආහාර වේලක් අවශ්‍ය වනවා. එය මිනිසාට මෙන්ම සතුන් සිවුපාවුන් ඇතුළු අප කාටත් පොදු න්‍යායයක් වනවා.

කුසට නිසි ආහාරයක් නොලැබුණු විට එය ඉවසා ගත නොහැකි වන අවස්ථාවල ලැබෙන යමක් ආහාරයට ගෙන ජලය පානය කර කුස ගින්න නිවා ගන්නා පිරිස් අද ද අපට සමාජයේ දකින්නට ලැබෙනවා.

නමුත් ඒ ගින්න නිවා ගැනීමට ගත් ආහාරය නිසා ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වේ නම් එය මොන තරම් අවාසනාවන්ත ඉරණමක් දැයි අපට සිතන්නට වනවා.

එවැනි පුවතක් පසුගිය (27) දා අපට වාර්තා වන්නේ කුළියාපිටිය හෙට්ටිපොළ ප්‍රදේශයෙන්.  ඒ වයස අවුරුදු 7ක කුඩා දරුවෙකු සිය දෙමාපියන් නිවසේ නොසිටි අවස්ථාවක දැනුණ කුස ගින්න නිවා ගැනීම සඳහා ගෙවත්තේ තිබු කෝවක්කා ආහාරයට ගෙන තිබෙනවා.

එය ආහාරයට ගත් ටික වේලාවකින් එම දරුවා ආසාධ්‍ය තත්ත්වය පත්ව ඇදි වැටි සිටිම දුටු අසල් වැසියන් පොලීසියට දැනුම් දී  ඇති අතර ඔහුව රෝහල් ගතකර තිබෙනවා.

එම දරුවා රොහල් ගත කරන විටත් මිය ගොස් සිටි බවයි කුළියාපිටිය පොලීසිට පැවසුවේ.

ප්‍රමාණයට වඩා කෝවක්කා ආහාරයට ගැනීම සුදුසු නොවන අතර එය දියවැඩියා, මල බද්ධය සහ අධික රුධිර වහනය වැනි රෝගී තත්ත්ව පාලනයට යොදා ගන්නා ඖෂධයක් ද වනවා.

කුළියාපිටිය හෙට්ටිපොල - මණ්ඩාපොල කනිෂ්ඨ විද්‍යාලයේ 2 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි කසුන් සඳරුවන් නම් හත් හැවිරිදි සිසුවාට මෙම අවාසනාවන්ත ඉරණම මුහුණු දීමට සිදුවුණේ ප්‍රමාණයට අධිකව කෝවක්කා ආහාරයට ගැනීමෙන් ශරිර ගත සීනි අඩුවීමෙන් බවයි පශ්චාත් මරණ වාර්තාව සඳහන් කරන්නේ.

අදාළ සිසුවාගේ මරණ පරික්ෂණය පැවැත්වුණේ කුළියාපිටිය රෝහලේදීයි.

මෙහිදී මිය ගිය කුඩා දරුවාට තවත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණදීමට සිදුවු බවයි වාර්තා වුනේ.

එම සිසුවාගේ දේහය කුළියාපිටිය රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබිය දී මීයන් විසින් එම දේහය කා විනාශ කර දමා තිබු බව ද සඳහන්.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග පැවසුවේ කුළියාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ සිදුකරන අළුත් වැඩියා කටයුතු හේතුවෙන් එම දරුවාගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රෝහල් ගිලන් රථයේ තැන්පත් කර තිබියදී මීයන් විසින් කා විනාශ කර ඇති බවයි.