වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
නෙත් එෆ්.එම් රේඩියෝවේ ඊයේ (07) රාත්‍රියේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහන හා එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී "පසුගිය රජයේ ආර්ථික කළමනාකරණයේදී මෙන්ම අද ආර්ථික කළමනාකරණයේදීත් දුර්වලා සහ වැරදි තියෙනවා. ඔය දෙගොල්ලොන්ටම සමාව දෙන්න බැරි පොදු කාරණා රාශියක් තියෙනවා. මේ අවුරුදු තුනේම ආර්ථික කළමනාකරණය අපි එක්සත් ජාතික පක්ෂයට තමයි දීලා තිබුණේ. ඒ ඇතිකරගත් එකඟතාවයන් අනුවයි. පසුගිය රජයේත් ආර්ථික කළමනාකරණය කොයි තරම් දක්ෂද කියලා කියනවා නම්.. අපේ විදේශ ණය සහ දේශීය ණය ට්‍රිලියන 10කට වැඩි ප්‍රමාණයකින් වත්කම් විදිහට පෙන්වන්න මුදල් අමාත්‍යාංශය තුළ තියෙන්නේ ට්‍රිලියන් එකයි. ට්‍රිලියන් එකක් කියන්නේ කෝටි දාහක්.. එතකොට ට්‍රිලියන 09ක් පොත්පත්වල නෑ. පේනවානේ හිටපු අය කොහොමද කළේ කියලා.. ඒතකොට ආර්ථික කළමනාකරණය ගැන ඒ ගොල්ලන්ට රෙදි ඇඳගෙන කතා කරන්න බෑ..
අනිත් පැත්තේ අය ගැන කතා කරනකොට වෙනත් විදිහට වෙනවා. රාජ්‍ය බැංකු එක ඇමතිවරයෙකුට.. මහ බැංකුව තව ඇමතිවරයෙකුට.. මුදල් ඇමතිවරයා තව එකක්. මම මේවා අගමැතිතුමාට හරියට පැහැදිළි කළා...මේවා නිවරැදි වෙන්න ඕනේ. මේ ප්‍රශ්න ඇතිවෙන්න හේතුව මේවා. දැන් සංස්කෘතික අමාත්‍යාංශය ගත්තාම..ඒකේ කෑල්ලක් එතන තියලා.. සංස්කෘතිය අමාත්‍යාංශයේ තිබිය යුතු වටිනාම අංශය තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයට. මම මේවට බොහොම තදින් විරුද්ධ කෙනෙක්. සමගිය තියා ගන්න ඕන නිසාත්..ආණ්ඩුවක් කඩා ගන්න බැරි නිසාත් මම බොහොම ඉවසීමෙන් කටයුතු කරනවා. මම ඔය වෙනස්කම් කරනවා කියන්නේ ඔන්න ඕවා තමයි.. ඒ වෙනස්කම්වලට අකමැති වුණොත් මට සිද්ධ වෙනවා මේවා රටට කියන්න..මෙන්න මේවට මේවාට මේගොල්ලෝ කැමති නෑ කියලා. දැන් උපාය පේනවානේ වෙලා තියන දේ..වෙන මොනවද ඒ ගැන කතා." යනුවෙන පැහැදිළි කළා.