Saturday, January 11, 2025

General line - 0115112241

උදයංග වීරතුංග අත්අඩංගුවෙන් මිදුණු හැටි




රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 ක් පමණ වන මහජන මුදල් අවභාවිත කළේ යැයි කියන චෝදනාවලට අදාල පරීක්ෂණ සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 20 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මඟහරිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

උදයංග වීරතුංග සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ ශ්‍රී ලංකා ශාඛාව ලබාගත් නිල් නිවේදනයක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා බලධාරීන් රටවල් ගණනාවක් සමඟ එක්ව අන්‍යොන්‍ය නීති සහය ඇතිව ඔහු ආගිය ස්ථාන හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවද ඉන් සඳහන් කරනවා. 

2018 පෙබරවාරි 04 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට උත්සාහ කිරීමේදී  වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී  නවත්වා ගනු ලැබූ බවත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කරන ලද නිල් නිවේදනය පදනම් කරගෙන බවත් පැහැදිළි කරනවා. 

මෙම නිවේදනයේ අරමුණ වූයේ ‘අපරාධ පරීක්ෂණයකට අදාළව අවශ්‍ය වන්නාවූ පුද්ගලයෙකු’ ලෙස උදයංග වීරතුංග සිටින ස්ථානය සොයා ගැනීම සහ හඳුනාගැනීමයි. 

කෙසේවුවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින නීතිය සහ ජාත්‍යන්තර පොලීසියේ නිල් නිවේදනයට අදාල නීතිරීති මගින් වීරතුංග තවදුරටත් රඳවා තබා ගැනීම වැළැක්වුණු අතර පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් ඔහු  මුදා හරිනු ලැබ තිබුණු බවයි ඉන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. ඔහු වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින බවද පෙන්වා දෙනවා. 

එරට පොලීසිය විසින් මීට අදාළව විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර, එම විමර්ශන කටයුතු අවසන් වන තෙක් උදයංග වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමියෙන් පිටවී යාම වලක්වා තිබෙන බවද පැහැදිළි කෙරුණා. 

මේ අතර, උදයංග වීරතුංගට එරෙහිව ශ්‍රී ලංකාව තුළ පවතින පැමිණිලි හා චෝදනා විමර්ශනය කරන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අබුඩාබියේ  ජාත්‍යන්තර පොලිසිය සමඟ මේ කරුණ සම්බන්ධයෙන් කටයුතු සිදු කරන බවයි වාර්තා කරන්නේ.

මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබාගැනීම සඳහා, අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ආගමනික කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතීඥයන්ගේ සේවය ලබාගෙන ඇති බවද පෙන්වා දෙනවා. තවද, ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහා උදයංග වීරතුංග  ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් සමන්විත, දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින නියෝජිත පිරිසක් එරට අදාල බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද අවධාරණය කරනවා.