පළාත් පාලන ඡන්ද විමසීම සඳහා හැට පන්දහසකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා සිටින බව පොලීසිය පවසනවා.
අවශ්‍යතාව ඇති වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජංගම සංචාරද යොදන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියාසිටියේ.
ඡන්ද පෙට්ටි කොල්ලකෑම වැනි සිද්ධීන් අවස්ථාවලදී පොලීසියට වෙඩි තැබීමේ බලය ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
එම අවස්ථාවේ වෙනත් බලයක් යොදා එම ක්‍රියාව වලක්වා ගැනීමට නොහැකි වුවහොත් මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි සඳහන් කෙරුණේ. ඡන්ද මධ්‍යස්ථානයක හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක අවට කිසිඳු සිදුවීමක් ඇති වීමට ඉඩ නොතබන බවද වැඩි දුරටත් සඳහන් කෙරුණා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්‍ෂාව සඳහා ති‍්‍රවිධ හමුදාවේ හත්දහසක් යොදවා තිබෙනවා.
යම් පොලිස් ස්ථානයක් හෝ පොලිස් කොට්ඨාසයක් හදිසි අවස්ථාවක හමුදා ආරක්‍ෂාව ඉල්ලා සිටියහොත් එම ස්ථානවලට හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු කියාසිටියේ.