Friday, May 3, 2024

General line - 0115112241

ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අවසන් (UPDATE)




අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (24) පස්වරුවේ සිදුකෙරුණා. ඒ, අනුරාධපුර වලිසිංහ හරිස්චන‍ද්‍ර ක්‍රීඩාංගණයේදීයි. අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවණේ තැන්පත් කර තිබූ උන්වහන්සේගේ දේහය රිය පෙරහැරකින් වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය වෙත වැඩම කෙරුණා.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ආදාහන පූජෝත්සවය සඳහා මහා සංඝරත්නය, විවිධ ආමගමික නායකයින්, මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාඥයින් රැසක්ද එක්ව සිටියා.

අදාහාන පූජෝත්සවය ඇමතූ ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් කියා සිටියේ පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් සෑම අංශයකින්ම රටට කළ සේවය අතිමහත් බවයි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් ආගමික නායකයකු පමණක් නොව සාමාජීය නායකයෙකුද වන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් ඉකුත් 20 වනදා අළුයම අපවත් වුණා. ඒ වනවිට උන්වහන්සේ වයස අවුරුදු 80 ක්.

------------------

ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද! ලෝක එක්සත් බෞද්ධ සංඝ සභාව සොව පලකරයි (24-02-2018 11:05)

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (24) පැවැත්වෙනවා. ඒ, අනුරාධපුර වලිසිංහ හරිස්චන්‍ද්‍ර කී‍්‍රඩාංගණයේදීයි.

මේ වනවිට උන්වහන්සේගේ දේහය අනුරාධපුර ශී‍්‍ර සාරානන්ද පිරිවණේ තැන්පත් කර තිබෙනවා. ආදාහන පූජෝත්සවය සදහා එම දේහය පස්වරු 2 ට පමණ වලිසිංහ හරිස්චන්ද්‍ර කී‍්‍රඩාංගණය වෙත රිය පෙරහැරකින් වැඩමවීමට නියමිතයි. 


පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වනවිට 80 වන වියේ පසු වුණා.


පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන්  ශෝක පණිවිඩයක් නිකුත් කරන, ලෝක එක්සත් බෞද්ධ සංඝ සභාවේ ගිහි සභාපති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසන්නේ  ගිරාඹේ ආනන්ද  ස්වාමීන්ද්‍රයන් වහන්සේ විවිධ කාල වකවානුවල මෙරට පැවති සමාජ අර්බුද විසඳීමට නොපසුබටව, අපක්ෂපාතීව, අභීතව, මැදිහත් වෙමින් බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා සක්‍රීයව කටයුතු කළ මෑතකාලීන භික්ෂූන් වහන්සේ අතර සිටි අති ගෞරවනීය යතිවරයාණන් වහන්සේ නමක් බවයි.  

"සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කරමින් තවත් වසර දහස් ගණනාවක් බුදු සසුන සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය සඟ පිරිසක් නිර්මාණය කිරීමේ කාර්යභාරය වෙනුවෙන් තුන් සියයකට අධික ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ සංඛ්‍යාවකට උන් වහන්සේ  ගුරුවරයාණන් වූ උන්වහන්සේ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා සංඝ මූලස්ථානය  ඉදිකිරීමට  උන්වහන්නේ මූලිකත්වය ගෙන කටයුතු කළ  ශාසනාලී මෙහෙවර ප්‍රසංශනීයය. 

අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද  ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කිරීමට මෙන් ම සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට සැබෑ බෞද්ධ ප්‍රතිපදාව අනුව කටයුතු කළ සංඝ පීතෘවරයෙකි. ජාතිය හා ආගමේ අභිවෘද්ධිය පිණිස නිතර අවවාද අනුශාසනා දුන් උතුමෙකු බව මෙහිදී සිහිපත් කරනු කැමැත්තෙමි.

බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට අනුපමේය සේවාවක් ඉටුකරන පිරිවෙන් විහාරස්ථාන තිහකට පමණ අනුශාසකත්වය ලබා දෙමින් සිල්වත්ව, ගුණවත්ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් සම්බුද්ධ ශාසනය බබළවමින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් සුවපත් කළ අතිපූජ්‍ය ගිරාඹේ ආනන්දස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම ගමට, රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම සිදු වූ පාඩුවකි.

අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද  ස්වාමීන්ද්‍රයන් වහන්සේට  නිවන් සුව අත්වේවා!

අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍ය,

ලෝක එක්සත් බෞද්ධ සංඝ සභාවේ ගිහි සභාපති