Friday, May 3, 2024

General line - 0115112241

ඌනා මැකෝලේගේ මෙහෙවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ප්‍රණාමය




ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත, අභාවප්‍රාප්ත ඌනා මැකෝලේ මහත්මියගේ ජීවිතයට සහ මෙහෙවරට ප්‍රණාමය පුද කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සමග එක්වන බව පවසනවා.

එක්සත් ජාතීන් සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාවට මඟ පෙන්වූ, ඇයගේ ප්‍රඥාව, ශක්තිය, අනුප්‍රාණය සහ හොඳහිත සැමවිටම අපගේ අගය කිරීමට බඳුන්වනු ඇති අතර අප මතකයේ සදාකල් රැඳෙනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

මානව හිතවාදී ගුණයෙන් සහ සර්වශුභවාදීබවෙන් පිරිපුන් ඇය, එක්සත් බව සහ මිනිසත් බවට ඇති ගෞරවය උදෙසා වූ දැක්මක් සහිතව අනාගතය දෙස බලන්නට සියල්ලන් දිරිගැන්වූ කාන්තාවකි ලෙසියි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඇය නැති අඩුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලු දෙනා හට දැඩි ලෙස දැනෙනු ඇති බවත් ඇයගේ අභාවයෙන් සංවේගයට පත්ව සිටින අතර බලවත් ශෝකය ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත පළ කර සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සිය නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ.