Friday, May 3, 2024

General line - 0115112241

අමෙරිකා නිසා ජෙරුසලමේ නව අර්බුද රැසක් නිර්මාණය වන ලකුණු




ජෙරුසලමේ ඉදිකිරීමට නියමිත මතභේදාත්මක තානාපති කාර්යාලය එළඹෙන මැයි මාසයේදී විවෘත කරන බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මැයි මස 14වනදාට යෙදී ඇති ඊශ්‍රායලයේ 70වන නිදහස් දිනයට සමගාමීව සිය ඊශ්‍රායල තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන එන බවයි.

එහෙත් අමරිකාව සිය තානාපති කාර්යාලය ඉදිකරන්නේ ජෙරුසලමේ කුමන ස්ථානයේද යන්න මෙතක් අනාවරණ වී නැහැ. කෙසේ වෙතත් මෙය ඓතිහාසික පියවරක් බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන එන බවට පසුගියදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින අර්බුදය තව තවත් තීව්‍ර කරමින්.

කෙසේ වෙතත් අමරිකාවේ මෙම ක්‍රියාකලාපයට මේ වනවිටත් රටවල් කිහිපයක්ම විරෝධය පළ කර තිබෙනවා. එමෙන්ම අමරිකාව සිය තනාපති කාර්යාලය ජෙරුසලමට ගෙන එන්නේ නම් පලස්තීන වැසියන් රැසකටම උන් හිටි තැන් අහිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  ඒ හරහා නව අර්බුද රැසක් නිර්මාණය වනු ඇතැයි ද ජාත්‍යන්තර විචාරකයින් අනතුරු අඟවනවා.