Saturday, January 4, 2025

General line - 0115112241

ජනපතිට සහ අගමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

අධිකරණ වාර්තාකරු




ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබන ජූලි 24 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද (26) යළි සිතාසි නිකුත් කෙරුණා.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩුවකට අදාළවයි. අදාළ නඩුවේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇත්තේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයායි. 

පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකව සිටි මෛතී‍්‍රපාල සිරිසේන සහ විපක්ෂ නායකව සිටි රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ අත්සන් ව්‍යාජ ලෙස කූඨ ලේඛණයකට යොදා ගත් බවටයි තිස්ස අත්තනායකට එරෙහි චෝදනා වන්නේ. එවැනි ලේඛණයක් මාධය වෙත ඉදිරිපත් කිරිමෙන් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. 

සිද්ධියට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතීඥයින් පැවසුවේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා රාජකාරී හේතුවෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි. ඒ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇති බවයි නීතිඥයින් අධිකරණයට දන්වා සිටියේ.

කෙසේවෙතත් ප‍්‍රධාන සාක්ෂිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට නොහැකි බැවින් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාට යළි සිතාසි නිකුත් කරන බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද ප‍්‍රකාශ කළා.

මීට පෙර අවස්ථා කිහිපයකදීද මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපතිරවයාට හා අග‍්‍රාමාත්‍යවරයාට නියෝග කර තිබුණා.

එහෙත් රාජකාරී හේතූන් මත මහාධිකරණයේ පෙනී සිටින්නට නොහැකි බව අධිකරණයට දැනුම් දී තිබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ මෙම නඩුවේ අවසානයක් දැකිය යුතු බවත් විත්තිකරුට සැමදාම විත්තිකරු ලෙසට පෙනී සිටිමේ හැකියාවක් නොමැති බවයි. එබැවින් මෙම නඩුව කඩිනමින් විභාගයට ගැනිමේ අවශ්‍යතාව මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී පෙන්වා දුන්නා.