Monday, May 6, 2024

General line - 0115112241

පුහුණුව අතරේ විදුහල්පතිනිය මිය යෑමේ වාර්තාව පිටවේ - ලොකු පුටු 11ක නිලධාරීන්ට වැඩ වරදියි

ඉෂාර සුපෙම් මානගේ




ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා ස්වයං විනය, ආයතනික විනය සහ නායකත්ව පිළිබඳ පුහුණුව ලබාදීමේ වැඩසටහනක් අතරතුර සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගිය 17 වැනිදා ජීවිතක්ෂයට පත්වුණා.

රාජකාරී පුහුණුවක් අතරතුර විදුහල්පතිවරිය අනතුරට පත් වීමේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට පසුගියදා නියෝගක්ද කර තිබුණා.

අදාළ වාර්තාව ඊයේ (28) දිනයේ අමාත්‍යවරයා වෙත භාරදුන් අතර එම විමර්ශනයට අදාළ සියළු නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාට එහිදී උපදෙස් ලබා දුන්නා.

එ් අනුව,ජාතික පාසල් විදුහල්පතිවරුන් සඳහා ස්වයං විනය, ආයතනික විනය සහ නායකත්ව පිළිබඳ බැහැරගත පුහුණු වැඩසටහනට අදාළව, පුහුණුව සැලසුම් කිරිමේ සිට, මිළ ගණන් කැඳවීම, ආයතන තෝරා ගැනිම සහ සංවිධානය කිරීම සම්බන්ධයෙන් වගකීම් විරහිතව, අනවධානයෙන් සහ නොසැලකිලිමත් ලෙස තම රාජකාරි වගකීම් පැහැර හරිමින්  ක්‍රියා කළ බවට සනාථ වී ඇති පහත සඳහන් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

      1)   මානව සම්පත් සංවර්ධන අංශය භාර අතිරේක ලේකම් (පාසල් කටයුතු),
      2)   මානව සම්පත් සංවර්ධන  අංශයේ අධ්‍යක්ෂ
      3)   මානව සම්පත් සංවර්ධන  අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ 
      4)   ප්‍රසම්පාදන අංශය භාර අතිරේක ලේකම්
      5)   ප්‍රසම්පාදන අංශයේ ගණකාධිකාරීවරිය
      6)   තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්
      7)   ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්
 
මේ අතරින්,මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු දැරූ නිලධාරීන් එම තනතුරුවලින් වහාම ඉවත් කිරීමටද නිර්දේශ වී තිබෙනවා.

එමෙන්ම,එම පුහුණු වැඩසටහන සංවිධානය කළ අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාවේ වගකීම්, අදාළ අංශය භාරව කටයුතු කළ අතිරේක ලේකම්වරයාගේ (පාසල් කටයුතු) විෂය පථයෙන් වහා ඉවත් කිරීමටද අදාළ විමර්ශනය මගින් නිර්දේශ කර තිබෙනවා.

මීට අමතරව, නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකළ අදාළ බැහැරගත පුහුණු වැඩමුළුව පවත්වන ලද  Sri Lanka Outdoor Adventure School ආයතනය අසාදු ලේඛන ගත කිරීමටද (Black list) නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම,මෙම අවාසනාවන්ත සිදුවීමෙන් දිවි අහිමි වූ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනී රේණුකා කුමාරි අතපත්තුගේ සැමියාට හා දරුවන්ට වන්දි මුදලක් ලබා දීමට සහ ඇයට හිමි වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්, මෙන්ම දරුවන් සඳහා හිමිවන රක්ෂණාවරණ ප්‍රතිලාභ ද කඩිනමින් සකස් කර දීමටද පියවර ගැනෙනු ඇති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දුන්නේ මිනිස් ජීවිත පිළිබඳ වගකීමෙන් යුතුව වැඩ කිරීමේදී නොසැලකිලිමත් බව හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් පලක් නොමැති බවයි.

එමෙන්ම මෙවැනි සිදුවීම් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්ති නාමය සහ ජනතා විශ්වාසය පළුදු වී යන බැවින් නැවත මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීම සඳහා වගකිව යුත්තන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.