Thursday, December 26, 2024

General line - 0115112241

ඊයේ රෑ මැණික්හින්න සිද්ධියෙන් පොලිසියේ 03කට තුවාල - සැකකරුවන් 07ක් අත්අඩංගුවට (UPDATE)




මහනුවර මැණික්හින්න ප‍්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරීමට උත්සහ දැරූ පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා.

එම අවස්ථාවේ ඇති වූ තත්ත්වයකින් පොලිසියේ තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා. තුවාල ලැබූ නිලධාරීන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙනවා.

--------------------------------

පොලිස් ඇඳිරි නීතිය පනවා තිබියදීත් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමට තැත් කරයි - පොලිසිය අහසට වෙඩි තබයි

(07-03-2018 06:01)

 

මහනුවර මැණික්හින්න ප‍්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරීමට උත්සහ දැරූ පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා.

ඔවුන් මෙලෙස කලහකාරී ලෙස හැසිරීමට උත්සහ දැරුවේ මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයට පොලිස් ඇඳිරිනීතිය පවා පනවා තිබියදීයි.

පවතින නීතිය යටතේ පිරිස් පාලනය කිරීම සඳහා මෙලෙස අහසට වෙඩි තැබීමට සිදුවූ බවයි උසස් පොලිස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

පසුව පැමිණි පිරිස පළා ගොස් තිබුණා. මේවනවිට ප‍්‍රදේශයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සාමාකාමී බවයි  වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

තෙල්දෙණිය ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවුණා. දිගන, තෙල්දෙණිය, කටුගස්තොට ඇතුළු මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයේම ආරක්ෂාව මේවනවිට තර කර ඇති බවයි එම ප‍්‍රදේශයේ සිටින උසස් පොලිස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ. ඒ සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය හා යුධ හමුදාව අනියුක්ත කර තිබෙනවා. 

සිද්ධිය සම්බන්යෙන් මේ දක්වා 30 ත් 35ත් අතර පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. ඒ අතරින් 24දෙනෙකු අත්අඩංගුවට ගැනුනේ තෙල්දෙණියේ ඉකුත් දා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන්. ඔවුන් මාර්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. 

මේ අතර මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයේ සියළු රජයේ පාසල් අද (07) දිනයේද වසා තැබීමටයි තීරණය කර ඇත්තේ. පවතින තත්ත්වය හේතුවෙන් මහනුවර සියළු පාසල් ඊයේ (06) දිනයේද වසා තැබුණා.