Friday, December 27, 2024

General line - 0115112241

සවස 6 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය (UPDATE)

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන්/දිනුක් හේවාවිතාරණ/සුපෙම් මානගේ




මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (07) සවස 4.00 සිට අද (08) සවස 4.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා පනවා තිබූ පොලිස් ඇදිරි නිතිය අද පෙරවරු 10.00ට අවසන් කිරීමට තීරණය කෙරුණා.

කෙසේවෙතත් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළි පොලිස් ඇඳිරි නීතිය සවස 6.00 සිට පැනවීමට නියමිත බවද සඳහන්.

 

---------------------------------

පොලිස් ඇඳිරි නීතිය 10ට අවසන් (UPDATE)

(08-03-2018 09:30)

 

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (07) සවස 4.00 සිට අද (08) සවස 4.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා පනවා තිබූ පොලිස් ඇදිරි නිතියේ කාලය කෙටි කර තිබෙනවා.

ඒ අනුව එම කාලය අද උදෑසන 10.00ට අවසන් කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

ප්‍රදේශයේ පවතින සාමකාමී තත්ත්වය සැළකිල්ලට ගෙන  මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.

 

------------------------------

පොලිස්පති නියමයෙන් මහනුවරට ඇඳිරි  නිතිය (UPDATE)

(07-03-2018 17:25)

 

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද සවස 4 සිට හෙට සවස 4 දක්වා පැය 24 ක කාලයක් සදහා  පොලිස් ඇදිරි නිතිය පැනවිමට පොලිස්පති පුජිත් ජයසුන්දර නියෝග කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටිනවා.

..............................................

මහනුවර නගරයේ මේ වන විට ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක් වසා දමා ඇති බව වාර්තා වෙනවා.

නගරය පුරා පොලිස් සහ හමුදා ආරක්ෂාව දැඩි කර තිබෙන බවද සඳහන්. 

දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කර තිබෙන අතර කටුගස්තොට සහ අඹතැන්න, වත්තේගම ප්‍රදේශවලින් යම් යම් සිදුවීම් වාර්තා වෙන බවද පැවසෙනවා.

කෙසේවෙතත් මහනුවර නගරයේ මේ වන විට දැඩි නිහඬ ස්වභාවයක් දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.
 

-------------------------------

මහනුවරට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් යවයි (UPDATE)

(07-03-2018 11:41)

 

මහනුවර ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් පිටත් කර හැර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන්  මෙම විශේෂ පොලිස් කණ්ඩායම් 03 සමන්විත බවයි වාර්තා වෙන්නේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

----------------------------

නැවත දැනුම් දෙන තුරු යළි පොලිස් ඇඳිරි නීතිය  - තැන තැන සුළු සිදුවීම් කිහිපයක් (UPDATE)

(07-03-2018 11:12)

 

මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයට මේ වන විට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනු ඇති බවයි.

මේ අතර එම ප්‍රදේශවලින් සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වෙන බවද සඳහන් කළා.

 

-------------------------------------

පොලිස් ඇඳිරි නීතිය අවසන් - යළිත් පැනවීම ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

(07-03-2018 07:01)

 

මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (07) අළුයම 06.00 ට අවසන් වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප‍්‍රකාශ කළා.

ඊයේ (06) රාතී‍්‍ර 08.00 සිට අද අළුයම 06.00 දක්වා යළිත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමටයි තිරණය කර තිබුණේ. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ අද දිනයේ පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් ප‍්‍රදේශයේ තත්ත්වය සලකා අවශ්‍ය වුවහොත් පොලිස් ඇඳිරි නීතිය යළි දීර්ඝ කිරීමට හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

තෙල්දෙණිය ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඉකුත්දා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවුණා. දිගන, තෙල්දෙණිය, කටුගස්තොට ඇතුළු මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයේම ආරක්ෂාව මේවනවිට තර කර ඇති බවයි එම ප‍්‍රදේශයේ සිටින උසස් පොලිස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ. ඒ සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය හා යුධ හමුදාව අනියුක්ත කර තිබෙනවා.