හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති විට ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය සහ රටේ ආරක්ෂාව තහවුරු කරන ආකාරය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැහැදිළි කළා.
නීතිය හා සාමය කඩවන පුද්ගයින් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂී බලතල රැසක් ති‍්‍රවිධ හමුදාව සහ පොලීසියට පවරා ඇති බවයි ඔහු කියා සිටියේ.
"ජාතීන් අතර පවතින සමගියට බාධා වන ආකාරයේත්..ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේත් තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, එවැනි අවස්ථානුගත කරුණු යටතේ දේශන, කතා, ලිපි පළ කිරීම සහ එවැනි තත්ත්වයක් ඇතිවන ආකාරයට සමාජ ජාලා භාවිතා කිරීම, නීති විරෝධී ක්‍රියා බවට මේ අනුව පත් වෙනවා. ඒ අනුව එවැනි වරදකදී ජීවිතාන්තය දක්වා හෝ එහෙමත් නැතිනම් වසර 20ක් දක්වා මේ දෙආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමේ දඬුවම් පනවා තිබෙනවා."
හදිසි අවස්ථාව යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට අමතරව ති‍්‍රවිධ හමුදාවේ සියළු සාමාජිකයින්ටද පවරා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
"හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමත් සමගම ජනාධිපතිවරයා විසින් නියෝග මාලාවක් පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට නිකුත් කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම බලතල උපයෝගී කරගෙන රටේ ඇතැම් ප්‍රදේශවල උත්ගතව ඇති සාපරාදී වාතාවරණය සමනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම, එහිදී එවැනි ක්‍රියාවල නිරත වෙන්නන්ගේ තත්ත්වය හෝ තරාතිරම නොබලා ජාතිය හෝ ආගම ආදී කරුණු පිළිබඳව අවධානයක් යොමු නොකර විෂය බද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා." යනුවෙන්ද එහිදී සඳහන් කෙරුණා.