ජාතිවාදය පැතිරවීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා නව නීති සැකසීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
මහනුවර ප‍්‍රදේශයේ ඉකුත්දා ඇති වූ තත්වයන් පිළිබඳ ආගමික නායකයින් සමග ඊයේ (10) පස්වරුවේ මහනුවර දී පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා මේ බව කියා සිටියා.
මෙරට ආර්ථිකයට මෙන්ම මැද පෙරදිග රටවල සේවයේ නිරත ශ‍්‍රී ලාංකිකයින්ට ද මෙවැනි සිදුවීම් හරහා බලපෑම් එල්ල වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
"මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් සහ පිරිමින් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මෙවැනි සිද්ධි නිසා ඔවුන්ගේ රැකියාවලට යම්කිසි තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. මෙම සිද්ධි නිසා වැඩිම හානිය වුණේ අපේ රටේ දියුණුවටයි. අපේ ආර්ථිකයටයි. පසුගිය කාලයේ ලංකාවට ආපු සහ මාලදිවයිනේ තත්ත්වය නිසා ලංකාව දෙසට යොමු වූ විශාල සංචාරකයෝ පිරිසක් යළි නැතිව හැරිලා ගියා. ලංකාවට ඇවිත් හිටිය ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ මේවා දැකලා පිටව ගියා." යනුවෙන්ද සඳහන් කළා.