Saturday, January 4, 2025

General line - 0115112241

කුලියාපිටියේ බලය පොදුජන පෙරමුණට - දිඹුලාගල බලය නිදහස් පක්ෂයට

රොෂාන් තුෂාර / උපේන්ද්‍ර සේරසිංහ




පළාත් පාලන ආයතන කිහිපයක ප්‍රධානීන් තෝරාගැනීමේ නිළවරණ අද (02) පැවැත්වුණා. කුලියාපිටිය ප්‍රාදේශීය සභාවද ඒවායින් එකක්. 
අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේද සහය ඇතිව කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සභාපති ලෙස තේරිපත් වුනේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඊ එම් විජේසිරි ඒකනායකයි. උපසභාපති ලෙස අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ කාසීම් ඉර්ෆාන් තෝරා පත්කර ගැනුණා. 

දිඹුලාගල ප්‍රදේශීය සභාවේද නිළවරණය අද පැවැත්වුනු අතර එහි සභාපති ලෙස තේරි පත් වුනේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡයන්ත මාරසිංහයි. උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ සිසිර දේශප්‍රිය තේරි පත්වුණා. මෙම ප්‍රාදේශීය සභාවේ සභික ධුර ඛෙදීගොස් තිබුනේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට 7 බැගින් එක්සත් ජාතික පක්ෂයට 6ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එකක් වශයෙන්. කෙසේ වෙතත් අද පැවති නිළවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ නියෝජිතයන් සහභාගී වී සිට නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ් සභිකයා ඡන්දය ලබාදීමෙන් වැලකී සිටියා.
  
මේ අතර කොලොන්න ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරය එහි උපසභාපති ලෙස තේරී පත් වී සිටින රාජපක්ෂ ඉදුනිල් දර්ශණට ලබා දෙන්නැයි ඉල්ලා පිරිසක් එම ප්‍රාදේශිය සභාව ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා. 

කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. සභාපතිවරයා ලෙස රූපසේන තලවත්තගේ තේරිපත්ව සිටිනවා. ඔහු මෙන්ම උප සභාපති රාජපක්ෂ ඉදුනිල් දර්ශණද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝ්ජනය කරන්නෙක්. කෙසේ වෙතත් අද කෙරුණු උද්ඝෝෂණයට ඔහු සහභාගී වී සිටියේ නැහැ. සභාපති ලෙස තේරිපත්ව සිටින රූපසේන තලවත්තගේ වැඩබාර ගැනීමද කොලොන්න ප්‍රාදේශිය සභාවේ අද සිදු කෙරුණා. ඒ සදහා වූ උත්සවයටද උප සභාපති රාජපක්ෂ ඉදුනිල් දර්ශණ සහභාගී වී නොසිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

මෙම වැඩ භාරගැනීමේ අවස්ථාවට බාධාවක් විය හැකි නිසා උද්ඝෝෂකයන් කොලොන්න ප්‍රාදේශීය සභවට ඇතුලූ වීම වැලැක්වීම සදහා අතිරේක පොලිස් රැකවල්ද යොදවා තිබුණා.