Saturday, January 4, 2025

General line - 0115112241

විපක්ෂ නායක ආර් සම්බන්ධන්ට චෝදනාවක්

පසන් වික්‍රමතිලක




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේශපාලන වේදිකාවේ තවදුරටත් ප්‍රධාන මාතෘකාව වී තිඛෙනවා.
කොළඹ අද (02) පැවැත් වූ මාධ්‍ය හමුවකදී සමාජවාදී ජනතා පෙරමුණ කියා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාවට සහය නොදී සිටීමට දෙමළ ජාතික සන්ධානයට හෝ විපක්ෂ නායක ආර් සම්බන්ධන්ටද නොහැකි බවයි. 

"ඕනෑම රටක මෙවැනි චෝදනාවක් අගමැතිවරයෙක්ට එල්ල උනොත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, එසේ නොකර බලයේ රැදී ඉන්න තැත් කරන කොට විරුද්ධ පක්ෂයේ නායකයා හැටියට තමාට යුතුකමක් තිබෙනවා නේද තමාගේත් තම පක්ෂයේත් ජන්දය ඊට එරෙහිව භාවිත කරන්න" යැයි මෙහිදී අදහස් දැක්වමින්  හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායකද අම්පාරේදී අද මාධ්‍යහමුවක් පවත්වමින් කියා සිටියේ එළඹෙන අප්‍රේල් මස 04 වෙනිදාට අගමැතිවරයාව ආරක්ෂා කරගැනීමට උත්සහ කරන කවුරු නමුත් දේශද්‍රෝහීන් ලෙස සලකන බවයි. එමෙන්ම රටේ විපක්ෂනායකවරයා වන ආර් සම්බන්ධන් මෙතෙක් කල් ක්‍රියා කලේ රටේ ජනතාවගේ විපක්ෂනායකවරයා ලෙස නොවන බවත් ඔහු ආණ්ඩුවේ විපක්ෂනායකවරයා ලෙස කටයුතු කල බවයි.

දුෂණයට හා වංචාවට එරෙහිව හඩ නැගූ එක්සත් ජාතික පක්ෂයේ කිසිවකුටද මෙම විශ්වාසභංග යෝජනාවට සහය නොදී සිටීමට නොහැකි බව  මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.