Saturday, January 4, 2025

General line - 0115112241

විශ්වාසභංගය ගැන දෙපාර්ශවය අතර දීර්ඝ සාකච්ඡා

හේමන්ත කහවලගේ




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඉහළ පෙලේ තවත් සාකච්ජා කිහිපයක් ඊයේ (02) රාත‍්‍රී පැවැත් වුණා. අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතරයි ඉන් එක් සාකච්ජාවක් පැවැත්වුණේ.

එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා කියා සිටියේ ඉදිරියට සිදුකළ යුතු දේ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි. සියඵ පක්ෂ එක්වී ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ආරක්ෂා කළ යුතු බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර දෙමළ ජාතික සන්ධානය සමග සිදුකරන යටි ගණුදෙනු මගින් විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට උත්සහ නොකරන්නැයි ජනාධිපතිවරයා මේ සාකච්ජාවේදී අවධාරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය මංගල සමරවීර ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා එම ධූරයට පත් වූයේද දෙමළ ජාතික සන්ධානයේ සහයෙන් බවයි. 2015 ජනවාරි 08 වනදා සහ අගෝස්තු 17 වනදා ජනතාව දුන් වරම ඉදිරියට ගෙන යා යුතු බව ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන් මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. ඊට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ අඩුපාඩු සකසාගෙන ඉදිරියට යා යුතු බවයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සමග ද සාකච්ජා කර එහි ප‍්‍රතිපල දැනුම්දෙන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශකර තිබෙනවා. ඒ සදහා අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට පෙර ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් හමුවන ලෙසයි ජනාධිපතිවරයා, එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

මේ අතර අද (03) පැවැත්වෙන දෙපාර්ශවයේ හමුව සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම, අකිල විරාජ් කාරියවසම් හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් ඊට ඇතුලත්.