Friday, January 10, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳව මහජනතාවට කරන දැනුම්වත් කිරීමයි

වසන්ත පිවිතුරු




 

ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies) පිළිබඳ ව තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී තිබෙනවා.

ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලිකව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකවලට “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද පවතින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin) සහ එතීරියම් (Ethereum) වැනි අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) යනාදීයයි.

මෙම අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් කරන ලද මුදල් නොවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

අප්‍රකාශිත විද්‍යුත් මුදල් වැනි අතථ්‍ය මුදල්, ගණුදෙනු බලාත්මක කිරීම සඳහා පුද්ගලයන් ඝෘජුවම සම්බන්ධ වී විමධ්‍යගත ලෙස සේවා සැපයිය හැකි වන අයුරින් ඩිජිටල් ජාල භාවිත කරනු ලබනවා.

එම මුදල්වල වටිනාකම පිළිබඳව සහතික කිරීමට සහ එම ගනුදෙනු නියාමනය කිරීමට මහ බැංකුව වැනි කේන්ද්‍රස්ථාන අධිකාරියක් නොමැති වීම හේතුවෙන් ඒවා භාවිතා කරන්නන් අතර හෝ ගණුදෙනු ආශ්‍රිත ගැටලු ඇති වීමේ දී ඒ සඳහා මැදිහත් වන වගකිව යුතු පාර්ශ්වයක් නොමැති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

අතථ්‍ය මුදල්වල වටිනාකම තීරණය වනුයේ සමපේක්ෂණ මත වන අතර එයට පාදක වූ වත්කම් හෝ ඒ සඳහා බලපවත්වන නියාමන රාමුවක් නොමැති බවද සඳහන්.

එම නිසා ඒවායේ වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය විය හැකි බවද වාර්තා වනවා.

ඒ හා සමානවම, නීතිවිරෝධී කටයුතු සඳහා අතථ්‍ය මුදල් භාවිතා කිරීමේ සම්භාවිතාව ද ඉහළ යා හැකි අවස්ථාද පවතිනවා. තව ද, අතථ්‍ය මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නීති උල්ලංඝනය වීමට ද අවකාශ ඇති බව සඳහන්.

එම නිසා, වර්තමානයේ දී අප්‍රකාශිත විද්‍යුත් මුදල් භාවිත කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද මූල්‍යමය, මෙහෙයුම්, නීතිමය, පාරිභෝගික සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව යන අංශවලින් සැලකිය යුතු අවදානමක් ඇති කරන බවයි මහ බැංකුව පවසන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති බව සහ කිසිදු ආයතනයකට මූලික කාසි අර්පණයන් (Initial Coin Offerings- ICOs) සඳහා බලය පැවරීමක් කර නොමැති බව ද මහජනතාවට මෙයින් දැනුම් දෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ.