Friday, September 20, 2024

General line - 0115112241

දැයේ දරුවන් සුරකින සුරක්ෂා රැකවරණය පුළුල් කෙරේ




පිළිකා, වකුගඩු ඇතුළු සියලු රෝග සඳහා ද රක්ෂණ ප්‍රතිලාභ සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් මෙතෙක් රක්ෂණ ප්‍රතිලාභ ලැබුණු නම් කළ රෝගාබාධ වලට අමතරව පිළිකා, වකුගඩු ඇතුලු සියලු රෝග සඳහා ද ප්‍රතිලාභ ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙම රක්ෂණාවරණය මගින් සිසු දරුවන් සඳහා ප්‍රතිපාදන ලබාගැනීමේ අවස්ථා ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව‍ එකඟ වී තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මඟපෙන්වීම මත ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන මගින් ශ්‍රි ලංකාවේ පාසල් 11,242 ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්ෂ 45 කට ආසන්න පිරිසක් සෞඛ්‍ය රක්ෂණාවරණයකට හිමිකම් ලබනවා.

අමාත්‍යවරයාගේ උපදෙස් මත සියලු පාසල් සිසුන් වෙත සුරක්ෂා සිසු රක්ෂණාවරණයට අදාළ රක්ෂණ කාඩ්පත ලබාදීමේ කටයුතු ද කඩිනම් කර තිබෙනවා. සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සම්බන්ධව වැඩිදුර විස්තර 0112- 357357 හෝ 0113-641555 දුරකථන අංක ඇමතීමෙන් ලබාගැනීමට හැකියි.

දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සෑම පිරිවෙනකම අධ්‍යාපනය ලබන පැවිදි ගිහි සියලු ම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සුරක්ෂා සිසු රක්ෂණාවරණය 2017 ඔක්තෝබර් මාසයේ දී හඳුන්වා දෙනු ලැබුවා.