Saturday, September 21, 2024

General line - 0115112241

වැලිගම - මිරිස්ස අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම කල් යයි (UPDATE)

චම්ලි ඒකනායක/ හේමන්ත කහවලගේ




හෙට (30) දිනයේ ඉවත් කිරීමට නියමිතව තිබූ වැලිගම මිරිස්ස ප‍්‍රදේශයේ අනවසර ඉදිකිරීම් 18ක් ඉවත් කිරීම කල්දමා තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති කියා සිටියේ අදාල ඉදිකිරීම් කරුවන් විසින්ම එම අනවසර ඉදිකිරීම් ඉවත්කර ගන්නා බවට අධිකාරිය වෙත දැනුම්දී ඇති බවයි.

 

අනවසර ඉදිකිරීම් කිහිපයක් මේ වනවිටත් ඉවත්කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වූ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළා.

 

ඒ අනුව තවදුරටත් ඔවුන් සමග සාකච්ජාකර මෙම අනවසර ඉදිකිරිම් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියේ. 

 

----------------------

මිරිස්සේ සිද්ධියට පත් කළ කමිටුව පළමුවරට රැස්වේ 

(27-04-2018 09:24) ()

මිරිස්සේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද කමිටුව පළමු වරට ඊයේ (26) රැස් වුණා. මේ සම්බන්ධයෙන් කෙටි කලක් තුළ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

-----------------------------------------

මිරිස්සේ සිද්ධියට ඇමති බලපෑම් කළාද? 

25-04-2018 14:24

මිරිස්ස වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා. මිරිස්ස වෙරළ තීරයේ හඳුනාගත් අනවසර ඉදිකිරීම් 17ක් මෙසේ ඉවත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මැදිහත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්ථාපා වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ලකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පිළිතුරු දුන් අධ්‍යක්ෂ ජනරාල් වරයා

"මේ තීරණය 2014 සිට සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. හදිසියේ ගත්ත තීරණයක් නොවෙයි. ෆයිසර් මුස්ථාපා අමාත්‍යවරයා කියන්නේ පළාත් පාලන ආයතන සහ ජනතාව සමග සාකච්ඡා කරන්න කියලයි. මෙතන පුද්ගලයින් 17ක් පමණයි ඉන්නේ. වැලිගම  ප්‍රාදේශීය සභාව සමග මේ ගැන සාකච්ඡා කරලයි තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අභියාචනා කැඳවල පවා විමසීම් කරලයි මේ තීරණයට ආවේ. සීසන් එකට ඉන්න දෙන්න කියා ඉල්ලීමක් කළා. එයටත් ඉඩ දුන්නා. තවදුරටත් මේ ඉදිකිරීම් තියෙන්නට දෙන්න බැහැ. ". 

ෆයිසර් මුස්ථාපා අමාත්‍යවරයාගේ මැදිහත්වීෙමේ නීත්‍යානුකූලභාව සම්බන්ධයෙන් කළ විමසීම්දී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා සතු පරිසර අමාත්‍යංශයට අයත් ආයතනයක් බවය. 

පසුගිය 08වැනිදා මිරිස්ස වෙරළ තීරයේ අවන්හලක සේවකයින් විසින් නෙදර්ලන්ත ජාතික සංචාරකයින් කිහිප දෙනෙකුට හිරිහැර සහ ලිංගික අඩම්තේට්ටම් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සැක පිට 4 දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අනවසර ඉදිකිරීම් ලබන මස 01 දා ඉවත් කරනා බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.