Friday, September 20, 2024

General line - 0115112241

2017 වසරේ තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ වර්ධනයක් : ජංගම දුරකථන භාවිත කරන පිරිස මිලියන 28 ක් දක්වා ඉහලට

දිනුක් හේවාවිතාරණ




2016 වසරට සාපේක්ෂව මෙරට තොරතුරු හා සන්නිවේදන කේෂත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් 2017 වසරේදී පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවේ සඳහන් වනවා.

2016 වසරේදී 8% ක් ව පැවති තොරතුරු හා සන්නිවේදන කේෂත්‍රයේ වර්ධනය 2017 වසර අවසානය වන විට 10.2% දක්වා ඉහල ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එයට ප්‍රධානම හේතුව වන්නේ මෙරට ජංගම දුරකථන, අන්තර්ජාල හා ස්ථාවර රැහැන් ප්‍රවේශ සම්බන්ධතා භාවිතා කරන පාරිභෝගිකයින් 2016 වසරට සාපේක්ෂව ඉහල ගොස් ඇති බවයි. 

2016 වසරේදී ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකන් සංඛ්‍යාව 26,227,631 ක් වූ අතර 2017 වසරේ දී එය 28,199,083 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වසරක කාල සීමාව තුල නව ජංගම දුරකථන සම්බන්ධතා 1,971452 ක් සක්‍රියවී ඇති බවයි. 

ඊට අමතරව අන්තර්ජාල සම්බන්ධතාවයන්ද 2017 වසරේදී ඉහල ගොස් ඇති බව මහ බැංකු වාර්ෂික වාර්තාව පෙන්වා දෙනවා. 2016 වසරේදී 4,920,554 ක් වූ අන්තර්ජාල සම්බන්ධතාවයන් 2017 වසර වන විට 5,904,260 දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ අනුව 2017 වසර තුලදී නව අන්තර්ජාල සම්බන්ධතාවයන් 983,706 ක් නිකුත් වී තිබෙනවා.

මේ අතර ස්ථාවර ප්‍රවේශ රැහැන් සම්බන්ධතා සහ රැහැන් රහිත දුරකථන සම්බන්ධතාවයන්ගේ ප්‍රගතියක් දක්නට ලැබෙනවා. 2016 වසරේදී පැවති 2,550,432 සම්බන්ධතාවයන් ගණනට 2017 වසරේදී නව සබන්ධතා 52,746ක් එක්ව තිබෙනවා. ඒ අනුව මෙරට ස්ථාවර ප්‍රවේශ රැහැන් සම්බන්ධතා හා රැහැන් රහිත දුරකථන සම්බන්ධතාවයන් ගණන 2017 වසර අවසානය වන විට 2,603,178 ක් වනවා.