Sunday, April 28, 2024

General line - 0115112241

වැලිකඩ රැඳවූවන්ගේ වෙසක් නිර්මාණ කලාපයක් සහ දන්සැල්

නිශාන් ද සිල්වා




අදට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරවල රැදවූවන් 432 ට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිවනවා.

කෙසේවෙතත් ඔවුන්ගෙන් 23 දෙනෙකු වෙනත් වැරදිවලට නැවත බන්ධනාගාර ගත කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

සෙසු පිරිසට පිරිමි පුද්ගලයන් 405 ක් සහ කාන්තාවන් 4 දෙනෙකු අයත්. 

ජනාධිපති පොදු සමාව යටතේ මෙලෙස නිදහස හිමිවූ සියලූ දෙනා  සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටින්නන් බව බන්ධානාගර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියා සිටියා.  

මීට අමතරව සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටින වයස අවුරුදු 70 ට වැඩි රැදවූවන්ට වසරකට දින හත බැගින් දඩුවම් කාලය අඩු කිරිමටද කටයුතු කෙරෙන බවයි ඔහු පැවසුවේ. එම රැඳවූවන්ට පනවා ඇති දඩු මුදල් අහෝසි කිරිමටද කටයුතු කෙරෙනවා.

මේ අතර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට හෙට (30) සිට මැයි පළමු වැනිදා දක්වා වෙසක් කලාපයක් පැවැත්වෙනවා.

සියළු බන්ධනාගාරයන්හි රැදවූවන් නිර්මාණය කළ පහන් කුඩූ එහිදී ප‍්‍රදර්ශනය කිරීමට නියමිතයි. රැදවූවන් විසින් බත් දන්සැලක් සහ අයිස්කී‍්‍රම් දන්සැලක්ද මෙහිදී පවත්වනු ලබනවා. බත් දන්සැල ආහාර පිසින්නේද රැදවූවන් විසින වීම විශේෂත්වයක්. 

සියළු බන්ධනාගාරයන්හි රැදවූවන් අද දිනයේ සිල් සමාදන් වුණා. වැලිකඩ බන්ධනාගාරයේ පමණක් සිල්සමාදන් වූ පිරිස 400 කට වැඩි බවයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියාසිටියේ.