Saturday, September 21, 2024

General line - 0115112241

වයඹ හිටපු අමාත්‍යවරයාට අගමැතිවරයා ගෙන් අවසන් ගෞරව (PHOTOS) (UPDATE)




වයඹ පළාත් හිටපු ආහාර හා සමූපකාර අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මාමන්ඩිය වන බි.එම්.විජේනායක මහතාගේ අවසන් කටයුතු අද (30) පස්වරුවේ කුරුණෑගල ආදාහනාගාරයේදී සිදු වනවා.

ඊයේ (29) උදෑසන අභාවප්‍රාප්ත වන විට 79 වනවියේ පසු වූ විජේනායක මහතා ඉබ්බාගමුව ගම් සභාවේ සභාපතිවරයා ලෙසත් හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.

ඒ මහතාගේ දේහය කුරුණෑගල නොයෙල් සෙනෙවිරත්න මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය සඳහා අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහතාද අද (30) පෙරවරුවේ එම ස්ථානයට පැමිණියා.

 

----------------------

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මාමණ්ඩි අභාවයට

(29-04-2018 09:47)

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආදරණීය මාමණ්ඩිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.වයඹ පළාත් හිටපු ආහාර හා සමුපකාර කටයුතු පිළිබඳ අමාත්‍ය බී. එම්. විජේනායක මහතා අද (29) උදෑසන අභාවප්‍රාප්ත වුණා.

1939 වසරේ ජනවාරි 03 වන දින උපත ලද ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වුණා.

ඉබ්බාගමුව ගම් සභාවේ සභාපතිවරයා ලෙසත් හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති ඔහු කුරුණෑගල මලියදේව පිරිමි සහ කාන්තා විද්‍යාලය ද්විත්වයෙහිම ගුරුවරියක ලෙස සේවය කල ඩී.බී විජේනායක මහත්මියගේ ආදරණීය සැමියායි.

දරුවන් තිදෙනකුගේ ආදරණීය පියාණන් වූ ඒ මහතාගේ, වැඩිමහල් පුත් උදය විජේනායක ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන අතර, වැඩිමහල් දියණිය උත්පලා විජේනායක කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස සේවය කරනු ලබනවා.

අභාවප්‍රාප්ත වයඹ පළාත් හිටපු අමාත්‍ය බී. එම්. විජේනායක මහතාගේ කණිටු දියණිය වන උත්තරා විජේනායක අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආදරණීය බිරිඳයි.

අභාවප්‍රාප්ත විජේනායක මහතාගේ දේහය මේ වන විට කුරුණෑගල, නොයෙල් සෙනෙවිරත්න මාවතේ, අංක 12 /1 නිවසෙහි තැන්පත් කර ඇති අතර.දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (30) සවස 6.00 ට කුරුණෑගල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.