Friday, September 20, 2024

General line - 0115112241

රට පුරා දන්සැල් පරීක්ෂා කිරීම අදත්

ජූඩ් සමන්ත - පුත්තලම/ දිල්ෂාන් තුෂාර




වෙසක් දිනය තුල පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන ගිය දන්සැල් 265 ක් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් කටයුතු කරනු ලැබුවා. වෙසක් දිනයේ සහ ඊට පසු දින දන්සැල් 295 ක් පවත්වන බව සංවිධායකයින් විසින් ඒ ඒ ප්‍රදේවල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියාපදිංචි කර තිබෙනවා.

 

ඉන් 93 ක් බත් දන්සැල් වන අතර ඉතිරි 202 සිසිල් පැන් සහ වෙනත් දන්සැල් වන බව සඳහන්. වෙසක් දිනය තුල පමණක් පරීක්ෂා කළ දන්සැල් අතරින් බොහෝමයක් ලියාපදිංචි කර පෙර උපදෙස් ලබාදී තිබූ  බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික්ක සභාපති සාගර සමරසිංහ කියා සිටියේ.

 

පරීක්ෂා කරන ලද දන්සැල් අතරින් 56 ක සංවිධායකයින්ට අවවාද කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන් දන්සැල් 03 ක සංවිධායකයින්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

මෙසේ දැඩි ලෙස අවවාද කර ඇත්තේ දන්සැල් පවත්වන බවට පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියා පදිංචි වී නොමැති සංවිධායකවරුන්ටයි.

අවවාද කර ඇති දන්සැල් බොහෝමයක් සිසිල් බීම දන්සැල් වන අතර මාළු අයිස් භාවිතා කරමින් සිසිල් බීම සකස් කිරීම,ඇල්මේනියම් ඇතුළු නුසුදු භාජන වල ආහාර ඇසිරීම,ආහාර සකස් කරන පිරිස් නියමිත සෞඛ්‍ය රීති භාවිතා නොකිරීම යනාදී කරුණු සම්බන්ධයෙනුයි අදාළ සංවිධායකවරුන්ට අවවාද කිරීමට හේතු වී ඇත්තේ.

 

කෙසේ වෙතත් අවවාද කර අඩුපාඩු සකස් කර ගැනීමෙන් අනතුරුව එම දන්සැල් සාමාන්‍ය  ආකාරයට පවත්වා ගෙන ගොස් ඇති බවද වාර්තා වුණා. වෙසක් දිනයේ වන්දනාවේ යන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා දන්සැල් පැවැත්වීමට පෙර පූර්ව උපදෙස් ලබා දීමට කටයුතු කළ බවත් ඉදිරි පොසොන් සමයේද මේ ආකාරයටම දන්සැල් ලියාපදිංචි කිරීමත්,පූර්ව උපදෙස් ලබා දීම සහ පරීක්ෂා කිරීමක් සිදු කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සභාපති සාගර සමරසිංහ වැඩිදුරටත් පැවසුවා.

මේ අතර දිවයින පුරා දන්සැල් පරික්ෂා කිරිමේ කටයුතු අද (30) දිනයේද සිදු කරන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ ආහාර පනතේ නීති රීති උල්ලංඝණය කිරීම හේතුවෙන් ඊයේ (29) දිනයේදී දන්සැල් 6ක් තහනම් කෙරුණු බවයි. වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු හෙට (01) දිනයේත් සිදු කිරීමට නියමිතයි.