Saturday, September 21, 2024

General line - 0115112241

රණමයුර පදක්කම බස් රථයක දමා ගිහින් (UPDATE)




අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ නිවසේ තිබී අතුරුදන්වූ රණමයුර සම්මාන පදක්කම අද (05) සොයා ගැනුණා. ඒ කොල්ලූපිටිය කඩුවෙල පුද්ගලික බස් රථයක් තුළ තිබියදීයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ අදාළ බස් රථයේ ගමන් මළු රඳවන රාක්කයේ එම පදක්කම කිසියම් අයෙකු දමා ගොස් ඇති බවට බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා කොල්ලූපිටිය පොලීසියට දැනුම් දීමක් කර ඇති බවයි.

ඒ අනුව කොල්ලූපිටිය පොලීසියේ නිලධාරීන් විසින් එම පදක්කම සිය භාරයට ගෙන තිබෙනවා. අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ බිරිඳ වන සුමිත‍්‍රා පීරිස් විසින් එය අතුරුදන් වූ පදක්කම බවට හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

ඉකුත් 02වනදා  ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ අවමගුල් උත්සවය අවස්ථාවේදී එම පදක්කම සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව  බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා.

----------------------------------------------------

රණමයුර පදක්කම සොයා පොලිස් පරික්ෂණ ඇරඹේ

03-05-2018 06:44

තරංග රුක්ෂාන් ජයසේකර

මහා සිනමාවේදී  අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිව තිබූ රණ මයුර සම්මානයට අදාළ පදක්කම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. 

පදක්කම අතුරුදන් වී ඇත්තේ දේහය ඒ මහතාගේ නිවසේ ඊයේ (02) තැන්පත් කර තිබියදීයි. නෙත් නිවුස් කළ විමසීමකදී බම්බලපිටිය පොලීසියේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය වාර්තාවීමෙන් පසු පවුලේ ඥාතීන්ගෙන් ඒ පිළිබඳ ප‍්‍රකාශයක් ද සටහන් කර ගත් බවයි. 

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් ඊයේ (02) ඒ මහතාගේ නිවසට පැමිණියා. සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන දැන් කි‍්‍රයාත්මක බවත්, පටිගත වී ඇති කැමරා දර්ශන ඒ සඳහා උපයෝගී කර ගන්නා බවත් පොලීසිය ප‍්‍රකාශ කළා.
 
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රණ මයුර සම්මානය සමග මෙම පදක්කම හිමිව තිබුණේ 1965 වසරේ නව දිල්ලි සිනමා උළෙලේදීයි. ඒ, ගම්පෙරළිය චිත‍්‍රපටය හොඳම චිත‍්‍රපටය බවට පත්වෙමින්. එය මෙරට සිනමා කරුවෙකු නව දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී සම්මානයක් හිමිකර ගත් පළමු අවස්ථාවයි.

------------------

අචාර්ය ලෙස්ටර්ගේ "රණමයුර පදක්කම" අතුරුදහන් : පොලිස් පරීක්ෂණ ඇරඹේ 

(02-05-2018 20:44)

(දිනුක් හේවාවිතාරණ )

 

අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළලේදී හිමිවූ "රණ මයුර" සම්මානය සමග ලැබුණු "පදක්කම" අද (02) උදෑසන සිට අතුරුදහන්ව ඇති බවට වාර්තා වනවා.

අද උදෑසන 10:00-11:00 ත් අතර කාලයේදී බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එතුමාගේ නිවසේදී මෙම "පදක්කම" අතුරුදහන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව ඒ ගැන පොලිසිය විමර්ෂණයක් ආරම්භ කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටියා.

එතුමාගේ අවසන් කටයුතු සිදුවූ අද දවසේදී අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් බම්බලපිටියේ පිහිටි එතුමාගේ නිවසට පැමිණි අතර එහිදී යමි කිසි අයෙක් එය සොරා ගත්තාද යන්න ගැන සැකයක් පවතිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ පවුලේ ඥාතීන් ගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.