Sunday, April 28, 2024

General line - 0115112241

අල්ලස් සිද්ධියට කොටු වූ ජනාධිපති කාර්යය මණ්ඩල හිටපු ප‍්‍රධානියාගේ පරීක්ෂණ වෙනත් මානයකට

හේමන්ත කහවලගේ




ජනාධිපති කාර්යය මණ්ඩල හිටපු ප‍්‍රධානී අයි. කේ. මහානාම අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මේවනවිට වෙනත් මානයකට යොමු වී තිබෙනවා.

ඒ ඔහුද සම්බන්ධ වූ ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු අනාවරණ වීමත් සමගයි. ඔහු අල්ලස් දැලට කොටුකර ගැනීම සඳහා පැමිණිල්ල ඉදිරිපත් කළ ඉන්දීය ව්‍යාපාරිකයා ද එම ගනුදෙනුවට සම්බන්ධයි. 

කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 23,000ක ඉඩම මෙම ව්‍යපාරිකයාට ලබා දීම සඳහා 2017 දී කැබිනට් අනුමැතිය හිමිව තිබුණා. එහෙත්, ඊට අදාළ කැබිනට් පති‍්‍රකාවේ සීනි සමාගමේ ගොඩැනැගිලි සහ උපකරණ ලබා දෙන බවට ඇතුළත් කර තිබුණේ නැහැ. ඒවා රජයේ වත්කම් ලෙසයි සලකා ඇත්තේ. එහෙත් පසුව මෙම ඉන්දීය ව්‍යාපාරිකයාට අයත් සමාගමක්, ආයෝජන මණ්ඩලය සමග තවත් ගිවිසුමකට එළඹ තිබෙනවා. කන්තලේ සීනි සමාගමේ ගොඩනැගිලි සහ උපකරණද ලබාගත හැකි වන පරිදි එහි කොන්දේසි ඇතුළත් කර තිබූ බවයි වාර්තා වන්නේ. 

මෙම ගිවිසුම සිදුවන සමයේ ජනාධිපති කාර්යය මණ්ඩල හිටපු ප‍්‍රධානී අයි. කේ. මහානාම කටයුතු කර ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි. 

ඔහු ඊට දැඩි ලෙස විරුද්ධ වී ඇති බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ. ඊට හේතුවී ඇත්තේ කැබිනට් පති‍්‍රකාවේ නොමැති කරුණක් සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය වෙනත් ගිවිසුමකට එළඹුනේ කෙසේද යන ගැටලූවයි. ආණ්ඩුවේ ආර්ථික කමිටුවේදීද ඒ පිළිබඳ අවධානයට ලක්ව ඇතැයි සඳහන්. 

කන්තලේ සීනි සමාගමේ මෙම ගොඩනැගිලි හා උපකරණ රජයට අයත් වත්කම් බවට ඔහු නීතිපතිවරයාටද දන්වා යවා තිබුණා.

මේ අතර පවතින ගැටලූකාරී තත්ත්වය හමුවේ අදාළ ඉන්දීය ව්‍යාපාරිකයා මෙම ගිවිසුම පිළිබඳ බේරුම්කර ගැනීමේ නඩුවක් සිංගප්පූරුවේ ගොනු කර තිබෙනවා. රජය වෙනුවෙන් ඊට සාක්ෂි ලබා දීමට ජනාධිපති කාර්යය මණ්ඩල හිටපු ප‍්‍රධානී අයි. කේ. මහානාම තවත් සතියකින් පමණ සිංගප්පූරුවට යාමටයි නියමිතව තිබී ඇත්තේ.

මෙම කටයුතු සිදුවන අතරතුරයි අදාළ ඉන්දීය ව්‍යාපාරිකයා සිදු කළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජනාධිපති කාර්යය මණ්ඩල හිටපු ප‍්‍රධානී අයි. කේ. මහානාම අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ. ඒ කෝටි 2ක අල්ලසක් ලබා ගනිමින් සිටියදීයි. සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායකද අත්අඩංගුවට පත්වුණා.