Monday, May 6, 2024

General line - 0115112241

වැට් බද්ද 12.5% දක්වා අඩුකරනවා - මුදල් ඇමති

දිනුක් හේවාවිතාරණ




දැනට 15% ක් වන එකතු කල අගය මත වන බද්ද වසර 2020 වන විට 12.5% දක්වා අඩු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට වක්‍ර ආකාරයෙන් සෑම පුරවැසියෙක්ම වක්‍ර ලෙස බදු ගෙවන බැවින් එම නිසා එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සදහා 2020 වන විට වැටී බද්ද 2.5% කින් අඩුකිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ වසරේදී පමණක් ගෙවීමට තිබෙන ප්‍රමාණය රුපියල් බිලියන 2845ක් බවත් එය අපේ රටේ වාර්ෂික ආදායමෙන් 90% ක් බව පැවසූ ඇමතිවරයා ඉන් 63% ක්ම 2015 වසරට පෙර ලබාගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති බවට සදහන් කර සිටියා. එමෙන්ම ලබන වසරේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 4285 ක් බවත් ඉන් 77% ක්ම 2015 වසරට පෙර ලබා ගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති බවයි. වසර 2020 දී ගෙවීමට තිබෙන ණය  ප්‍රමාණය බිලියන 3768 ක් වන අතර ඉන් 78% ක්ම 2015 වසරට පෙර ලබා ගනු ණය වෙනුවෙන් ගෙවීමට සිදුවන බවයි මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.

මෙම ණය ගෙවීම සදහා ආදායම වැඩිකර ගතයුතු බවත් දේශීය ආදායම් පනත හදුන්වා දෙනු ලැබුවේද මේ හේතුවෙන් බව පැවසූ ඇමතිවරයා එහි ප්‍රථිඵලයක් වශයෙන් පසුගිය මාසය තුලදී නව බදු ගොනු 46,000ක් අලුතින් විවෘත වී ඇති බවද කියා සිටියා. එමෙන්ම මෙරට ආදායමින් 82% ක් ලැබෙන්නේ වක්‍ර බදු වලින් බවත් සෘජු බදු වලින් ලැබෙන්නේ 18% ක් පමණක් බවත් ඒ හේතුවෙන් වක්‍ර බදු ගෙවන සාමාන්‍ය ජනතාවට සහනයක් සැලසීම අනිවාර්යෙන්ම සිදුකල යුතු බවයි මෙහිදී මුදල් ඇමතිවරයා කියා සිටියා.

මුදල් ඇමතිවරයා මේ බව කියා සිටියේ සහකාර රේගු අධිකාරිවරුන් 68 දෙනෙක්ට පත්වීම් ලිපි භාරදීමේ උත්සවයට එක් වෙමින්.