Thursday, May 2, 2024

General line - 0115112241

ගාල්ල ක්‍රීඩාංගනයේ ටෙස්ට් තරග පාවා දීමේ සැලසුමක් හෙළිවෙයි

කසුන් කැලුම්




ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරග දෙකක් මුදලට පාවා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් " අල් ජසිරා" මාධ්‍ය ආයතනය හෙළිදරව් තිබෙනවා.

2016 වසරේදී ඔස්ට්‍රේලියාව සමග හා 2017 වසරේදී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම් සමග පවත්වනු ලැබූ ටෙස්ට් තරග දෙක මෙලෙස පාවා දීමට බුකිකරුවන්  සමග සාකව්ජා කර ඇත්තේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහකාර කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන තරංග ඉන්දික යන අයයි. ඔහු සමග මෙයට සහභාගිවී සිටින අනෙක් පාර්ශවය වන්නේ ඉන්දියාවේ බුකිකරුවෙක් වන රොබින් මොරිස් යන අය බවයි අල් ජසිරා මාධ්‍ය ආයතනය සදහන් කරන්නේ.

මෙහිදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහකාර කළමණාකරු බුකිකරුට  යෝජනා කර ඇත්තේ පිතිකරුවන්ට, දඟ පන්දු යවන්නන්ට හෝ වේග පන්දු යවන්නන්ට උචිත ආකාරයට ක්‍රීඩාංගනයේ තණ තීරුව සැකසීමේ හැකියාව තමන්ට ඇති බව පවසමින්. ඉන්දික තරංග ගාල්ල ක්‍රීඩාංගනයේ සහකාර කළමනාකාර තනතුරට අමතරව ප්‍රධාන තණතිලි සකසන්නාද වනවා.

ඉන්දියානු බුකිකරුවා හා ඉන්දික තරංග යන දෙදෙනා අතර හමුව සිදුව ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ හෝටලයක දී.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේදී ගාල්ල ක්‍රීඩාංගනයේ තණතීරුව පන්දු යවන්නට උචිත ලෙසත් ඉන්දියාව අතර තරගයේදී පිතිකරුවන්ට උචිත ලෙස සැකසීමට ඉන්දික තරංග කටයුතු කර තිබෙන බවට මෙහිදී අනාවරණය වී තිබෙනවා. 

මිට අමතරව ලබන නොවැම්බර් මාසයේදී ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත එංගලන්ත සහ ශ්‍රී ලංකා තරගයද මේ ආකාරයෙන් ඔට්ටු තැබීමේ අරමුණින් කටයුතු කිරීමට ඔහු සුදානම් බව හෙළිවී තිබෙනවා.

අල් ජසිරා මාධ්‍ය කණ්ඩායම විසින් සිදුකල සියලුම විමර්ෂණයන් වල තොරතුරු මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් ලබා ගෙන ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ෂනයක්ද අරඹා ඇති බවට වාර්තා වනවා.

මේ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තරග සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බවට ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අයිසිසි ය සිදුකරන පරික්ෂණයන් සදහා තම උපරිම සහයෝගය දක්වන බවයි.