Tuesday, May 21, 2024

General line - 0115112241

මගීන් 228ක් සමග ශ්‍රී ලන්කන් ගුවන් යානය අනපේක්ෂිත අනතුරකට - නියමුවාගේ දක්ෂතාවයෙන් සියලු දෙනාගේ දිවි බේරේ

ටී.කේ.ජී කපිල




අධික වැසි සහ දැඩි සුළං මධ්‍යයයේ ඉන්දියාවේ කොචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ගොඩබාමින් තිබූ ගුවන් යානයකට සිදු වීමට ගිය විශාල අනතුරක් වලක්වා ගනිමින් සාර්ථකව ගොඩ බෑමට එහි නියමුවා ඊයේ (27) දින සමත් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පැවසුවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 167 දරන ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 කොචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට සූදානම් වෙද්දී, එම ගුවන් තොටුපොළ අවට දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වයක් පැවති බවයි වාර්තා වුණේ.

එවිට මෙම යානය තුළ මගීන් 228 ක් සහ කාර්යය මණ්ඩලය 12 ක් ගමන් කරමින් සිට තිබෙනවා.  මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A-330 වර්ගයේ යානයක්.

මෙවැනි අයහපත් කාළගුණික තත්ත්වයක් යටතේ කොචින් ගුවන් තොටුපොළ වෙත ගොඩ බාමින් තිබූ මෙම ගුවන් යානය, එකවරම එක පසෙකට බර වී ලිස්සා ගොස් ධාවන පථය තුළ සවි කර තිබූ විදුලි පහන් කීපයකට හානි සිදු වී තිබෙනවා.

එහෙත් පසුව මෙම යානයේ නියමුවා මෙම දුෂ්කර තත්වයේ වුවද, යානය පාලනය කර ගනිමින් එහි වූ මගීන්ට කිසිඳු කරදරයක් නොවන පරිදි සාර්ථකව කොචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට සමත් වී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් පිරිසක් කොචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ගොස්, මෙම යානයට යම් ආපදාවක් සිදු වී ඇත් ද යන්න පිළිබඳව පරීක්ෂා කරමින් සිටින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.