Tuesday, May 7, 2024

General line - 0115112241

ජල සම්පාදන මණ්ඩල සේවකයන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක




ජල සම්පාදන මණ්ඩලය වසර 3 න් 3 ට වැටුප් වැඩිවන ආයතනයක් බවත් ඒ අනුව 2018 ජනවාරි සිට නව වැටුප් වැඩිවීමක් ලැබිය යුතුව ඇති බවත් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක පෙන්වා දෙන්නේ එහෙත් එම වැටුප් වැඩිවීම මැයි මස වැටුපටවත් ලැබී නොමැති බවයි.

2018 පෙබරවාරි සහ මාර්තු මාසවල ගත් වෘත්තීය ක‍්‍රියාමාර්ග අනුව 25% ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට අමාත්‍යාංශය විසින් දුන් ලිඛිත පොරොන්දුව මත එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටුවනු ලැබූ බවද සඳහන් කරනවා.

එම පොරොන්දුව 2018 මැයි මස වැටුපටවත් ලැබුනේ නැති අතර පොරොන්දුව ඉටු කර දීම වෙනුවෙන් බලධාරීන්ගේ මැදිහත්වීමක්ද දක්නට නැති බවද සඳහන් කරනවා.

මෙසේ පොරොන්දු කඩකිරීමට එරෙහිවත් නව වැටුප වහාම ලබා දෙන ලෙසටත් බලකරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට එළඹීමට සිය සන්ධානය තීරණය කළ බවයි වැඩි දුරටත් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක පැවසුවේ.

එහි සංකේත ක්‍රියාමාර්ගයක් ලෙස අද (28) දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පැය 4 ක විරෝධතාවයක යෙදෙන අතර මේ සඳහා රත්මලාන ප්‍රධාන කාර්යාලය, ප්‍රධාන කාර්යාලය අවට කාර්යාල, දෙහිවල සහ මොරටුව කොට්ඨාශවල සියලු සේවකයින් සහභාගී වෙන බවද පවසනවා.

මැයි මස 30 වන දිනට බස්නාහිර පළාතේ සියලූ සේවකයින් සහභාගී කරගනිමින් ද ඉන් අනතුරුව පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ නම් ජූනි මස 01 වැනිදායින් පසු දීපව්‍යාප්ත අඛණ්ඩ විරෝධතාවයන්වල යෙදීමට තීරණය කර ඇති බවද සඳහන් කළා.