Thursday, May 2, 2024

General line - 0115112241

"අනිල් වීරසිංහට තාම අවසර දීලා නෑ"

කසුන් කැළුම්




මතභේදයට තුඩු දුන් චරිතයක් වන ශ‍්‍රී ලංකා කණිෂ්ඨ මළල ක‍්‍රීඩා කණ්ඩායමේ කළමණාකරු අනිල් වීරසිංහ නමැත්තා ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මළල ක‍්‍රීඩා ශූරතාවලියට ද සහභාගීවීමට සූදානම් වන බවට වාර්තා පළ වනවා.

කෙසේවෙතත් ජපාන තරගාවලිය සඳහා මේ දක්වා ඔහුට අවසර ලබා දී නොමැති බවයි ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි පවසන්නේ.

ඔහු සම්බන්ධයෙන් පැවති පරීක්ෂණ වාර්තාව අධ්‍යයන කරන තෙක් මෙම තරගාවලියට සහභාගීවන කණ්ඩායමට ද අවසර ලබා දී නොමැති බව ඔහු කියාසිටියා.

අනිල් වීරසිංහ නමැත්තාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමය ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබූ නමුත්, මේ දක්වා එවැන්නක් සිදුවී නැහැ. ඒ අනුවයි ඔහු සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය පරීක්ෂණයක් සිදුකළේ. ආසියානු ශූරතා කණිෂ්ඨ මළල ක‍්‍රීඩා තරගාවලිය ජපානයේ ගිෆූ හිදී ලබන මස 07 වැනි දා ආරම්භවීමට නියමිතයි.

මෙරට පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක‍්‍රීඩා ශූරතාවලියේ දී කලමණාකරු ලෙස කටයුතු කළේ අනිල් වීරසිංහයි.

එහිදී තම සේවය පැහැර හරිමින් අත්තනෝමතික ලෙස කටයුතු කර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ ද චිත්තධෛර්යය හීන කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.