Thursday, May 2, 2024

General line - 0115112241

කි‍්‍රකට් අතුරු කමිටුවක් පත්වන ලකුණු 

කසුන් කැළුම්




තාවකාලික ක‍්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කිරීම කෙරෙහි ක‍්‍රිඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිමත් සමගයි. 

අද (31) පැවැත්වීමට නියමිත වූ  නිළවරණය ලබන ජූනි මස 14 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණා. 

තවකාලික අතුරු පාලක කමිටුවක් පත් කිරීම පිළිබඳව ක‍්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර අද පස්වරුවේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමද අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බවයි ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම මෙවර නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය ඊයේ මෙම නියෝගය නිකුත් කළා. 

පෙත්සම සලකා බැලූණේ අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේයි. 

පෙත්සම මගින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ අද පැවැත්වීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී සභාපති ධුරයට තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල ඉදිරිපත් කර ඇති නාමයෝජනාව නීතියට පටහැනි බවයි. 
වත්මන් සභාපති තිලංග සුමතිපාල අදාළ තනතුරට තරග කළහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සහ ක‍්‍රීඩා පනතේ ප‍්‍රතිපාදන උල්ලංඝණය වන බව පෙත්සම්කාර පාර්ශ්වය පෙත්සම මගින් පෙන්වාදී තිබෙනවා.