Sunday, May 5, 2024

General line - 0115112241

"දුවගේ වෙනසක් දැක්කා" - පෙම්වතා සමග දුම්රියට පැන්න සිසුවිය ගැන මව හෙළිකරයි

ලලිත් චාමින්ද - ගාල්ල




පහළොස් හැවිරිදි වියේ පසු වු  පාසල් දැරියක්  එම වයසේම පසුවන ඇයගේ පෙම්වතා සමග කොළඹ සිට ගාල්ල බලා ධාවනය වු තැපල් දුම්රියට පැනීමේ සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

මෙම සිද්ධියෙන් පාසල් දැරිය මිය ගිය අතර ඇයගේ  පෙම්වතා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබනවා.

ඉකුත් පළමු වැනිදා රාත්‍රි 11.00ට පමණ මෙම සිද්ධිය ඇති වී තිබෙන අතර හික්කඩුව වැවල්ගොඩ හන්දිය ආසන්නයේ දුම්රිය මාර්යේ දී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ලිහිණියාගොඩගේ චානි සසිකලා (15) නැමති දේවගොඩ මාදම්පාගම අම්බලන්ගොඩ  ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක්. මියගිය පාසල් දැරියගේ හදිසි මරණ පරික්ෂණය  ඊයේ (02)  ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක  විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදු කළා.

මෙම අනතුරෙන්  බරපතල තුවාල ලැබු පෙම්වතාගේ එක් අතක් වෙන්ව ඇති අතර පාදයක දණ හිසෙන් පහල කොටස ඉවත්කොට ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මියගිය දැරියගේ මව වන නල්ලාහන්දි මනෝෂා ජයරානි ද සිල්වා (42) හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂි ලබා දෙමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

"මියගොස් ඇත්තේ මගේ එකම දුව. ඇය 10 වසරේ ඉගෙනුම ලැබුවා' ඉගෙන ගන්න දක්ෂයි.. අකිකරුත් නැහැ. පසුගිය කාලයේ ඇය ළග ජංගම දුරකථනයක් තිබුණා. මා මේ ගැන අහනවිට මදුංසක කියලා පෙම්වතෙක් ඉන්න බව  කිවා. පසුව මම ඇයට අවවාද කළා. දුරකතනය ගත්තා. පසුව 31 වැනි දින රාත්‍රියේ දුව ළග තවත් ජංගම දුරකතනයක් තිබුනා. මම එය ගත්තා. 01 වැනි දින  උදෑසන ඇය පාසල් යන්න සුදානම් වුණා.  සුදු ගවුමට යටින් කළු ඉරි සායක් ඇදලා හිටියා. මම ඇයට දොස් කියුවිට ඇය ඒ සාය ගැලවුවා. පසුව ඇය පාසල්ගියා. සැමියා නිවසට ආපසු මම මේ ගැන කිවා. පසුව සැමියට කියා පාසල ළගට ඇරලවා ගත්තා. පංතියේ ගුරුතුමිය සමග කථා කළා. දරුවා පාසල් ආවේ නැති බව දැන ගත්තා. දරුවා ගැන සොයා බැලුවා. කහව හන්දිය වෙරළ තිරයේ  තිබි ඇගේ බෑගය හමුවුනා. සැමියා ඇය හොයන්න ගියා. එවිට දියණිය හා පිරිමි ළමයා දුම්රියට පැන ඇති බව දැන ගත්තා." යනුවෙනි.