Friday, May 17, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහිව පිටියට බහින ශ්‍රී ලංකා පිළේ ලොකුම විශේෂත්වය මෙන්න

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකාව මෙවර කොදෙව් දූපත් හි ටෙස්ට් තරගාවලියකට එක් වන්නේ වසර 10කට පසුවයි. කොදෙව් දූපත් හි මීට පෙර ටෙස්ට් තරග 6කට කී‍්‍රඩා කර ඇති ශී‍්‍ර ලංකාව 2008 වසරේදී කොදෙව් දූපත්හි සිය පළමු ටෙස්ට් තරග ජය වාර්තා කළා. එ් මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේයි.

කෙසේ වෙතත් ඉන් පසු මේ දක්වා කොදෙව් දූපත් හි ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත්කම් දක්වා නැහැ. ශී‍්‍ර ලංකාව අවසන් වරට 2008 වසරේදී කොදෙව් දූපත් හි කළ තරග සංචාරයේදී ටෙස්ට් තරග දෙකකට කී‍්‍රඩා කළ අතර එම තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

දෙරට අතර මේ දක්වා පැවති ටෙස්ට් තරග 17න් තරග 8ක ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත්ව තිබෙනවා. කොදෙව් කණ්ඩායම ශී‍්‍ර ලංකාවට එරෙහිව ජයගෙන ඇත්තේ ටෙස්ට් තරග 3ක් පමණයි. තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 8න් වැඩිම තරගාවලි සංඛ්‍යාවක් ජයගග‍්‍රහණය කර ඇත්තේ ශී‍්‍ර ලංකාවයි. ශී‍්‍ර ලංකාව ටෙස්ට් තරගාවලි 3ක් ජය ගත් අතර  කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරගාවලි 2ක් ජය ගැනීමට සමත් වුණා. දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් 2015 වර්ෂයේ ශී‍්‍ර ලංකාවේදී පැවැත් වුණු අතර තරග 2කින් සමන්විත එම තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජය ගත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම වසරේ අවසන් වරට ටෙස්ට් තරගාවලියකට එක් වූයේ ඉකුත් ජනවාරි මාසයේදීයි. බංග්ලාදේශයට එරෙහිව පැවති එම ටෙස්ට් තරගාවලිය 1ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම වසරේදී සහභාගි වන පළමු ටෙස්ට් තරගාවලියද මෙය වනවා.

මෙවර කොදෙව් ටෙස්ට් තරග සංචාරයට එක් වන ශී‍්‍ර ලංකා සංචිතයේ සුවිශේෂීත්වයක් තිබෙනවා. එ් රංගන හේරත් හැරෙන්නට අනෙක් කිසිදු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු මීට පෙර කොදෙව් දූපත් හි ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කර නොතිබීමයි. එ් අනුව රංගන හේරත් හැරුණු විට සංචිතයේ සිටින අනෙක් කි‍්‍රඩකයින්  කොදෙව් ටෙස්ට් පිටියට කෝඩු කාරයින් වනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ 6 වන ස්ථානයේ පසුවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම සටහනේ පසුවන්නේ 09 වන ස්ථානයේයි.