Saturday, May 4, 2024

General line - 0115112241

උතුරු කොරියාව පිළිබඳ අමෙරිකාවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකා - උතුරු කොරියා සාකච්ඡා යළිත් වරක් බිඳ වැටිය හැකි තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් අමෙරිකාව පාර්ශ්වයෙන් යළි සිදුකර තිබෙනවා.

මෙවර එම ප‍්‍රකාශය සිදු කරනු ලැබ ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නීතිඥවරයා වන රූඞී ජූලියානි විසින්.

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ බිඳ වැටුණු අමෙරිකානු සාකච්ඡා යළි ලබාගැනීම සඳහා උතුරු කොරියානු නායකයා දැඩි ලෙස ආයචනය කළ බවයි. ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දැඩි ස්ථාවරයත් සමග දැන් උතුරු කොරියාව අමෙරිකාවට නතු වී ඇති බවද ඔහු අවධාරණය කර තිබෙනවා. 

ලබන 12 වැනිදා අමෙරිකානු - උතුරු කොරියානු සාකච්ඡා පැවැත්වීමට මීට පෙර දින නියම කර තිබුණා. ඒ අතරවාරයේ අමෙරිකාවේ ජාතික ආරක්ෂක ප‍්‍රධානී ජෝන් බෝල්ටන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළා. උතුරු කොරියාව ඊට දැක්වූයේ කණගාටුදායක ප‍්‍රතිචාරයක්.

ඉන් දින කිහිපයකට පසු හමුව අවලංගු කිරීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කළා. පසුව සාකච්ඡා සිංගප්පූරුවේදී පැවැත්වීමට යළි තීරණය කෙරුණේ උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු සමග ඉකුත් සිකුරාදා පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.