අයවැක් තරුණ පරපුර, සිය සංගමයේ සමාරම්භක සැසිවාරය, පසුගිය 06 වන දා බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ දී පැවැත්වූවා.
”දරුවන් ඉදිරියේ මිනිසුන් වෙමු”, යන්න මෙවර ඔවුන්ගේ තේමාව විය. මිනිසුන් වන අප තුළ ඇති නොමිනිස් ගති ඉවත් කර ගන්නා ලෙසත්, විශේෂයෙන්ම, දරුවන් ඉදිරියේ මිනිස් වටිනාකම් හදුනන යහපත් හොඳ මිනිසුන් ලෙස පෙනී සිටින ලෙසත් ඔවුන් ඒ හරහා වැඩිහිටි සමාජයෙන් ඉල්ලා සිටිනවා.
ළමා හිංසනය වැළැක්වීම සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබදව වූ යෝජනා ඇතුළත් ලියවිල්ලක් සඳහා, ලක්ෂයක් පුරවැසියන්ගේ සහාය ලබා ගැනීමට අයවැක් තරුණ පරපුර කටයුතු කර තිබේ. එසේ, පුරවැසි සහයෝගය ලබා ගත් ලියවිල්ල, ළමා හා කාන්තා කටයුතු ඇමතිනී, චන්ද්‍රානි බණ්ඩාර, නීතිය හා සාමය පිළිබදව ඇමති, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළුව මැති ඇමතිවරු, මහජන නියෝජිතයන්, සිවිල් සංවිධාන කි‍්‍රයාධරයන් සහ පොදු මහජනතාව අතට පත් කිරීම, AYEVAC තරුණ පරපුර විසින්, ඔවුන්ගේ සමාරම්භක සැසිවාරයේ දී සිදුකරනු ලැබුවා.
AYEVAC තරුණ පරපුර සදහා ජාතික මට්ටමෙන් ”අභිමාණ ප‍්‍රජා සංවර්ධන සංගමය” මූලික කරගත් සංවිධාන ගොනුවක සහයෝගය ලැබේ. මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබා දීම සඳහා චයිල්ඩ් ෆන්ඩ් ශ‍්‍රී ලංකා ආයතනය ඉදිරිපත් ව සිටිනවා.
රට තුළ ළමුන්ට එරෙහිව සිදුවන සියලූ ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා ආරම්භ කළ ගමන, ආරම්භක සැසිවාරයෙන් පසුව, නව ජවයකින් යුතුව ඉදිරියට යමින්, ළමුන්ට එරෙහි සියලූ ආකාරයේ හිංසනයන්ට තිත තැබීම AYEVAC තරුණ පරපුරේ අරමුණයි.