Tuesday, December 31, 2024

General line - 0115112241

කොස්ගම, කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානය ආශ්‍රිතව රථ වාහන ගමනා ගමනය සීමා කෙරේ




කොස්ගම, කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානය වාර්ෂිකව සංවිධාන කරන පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන ඒ ආශ්‍රිතව රථ වාහන ගමනා ගමනය සීමා කරන බව පොලිසිය පවසනවා. 

ඒ අනුව අද රාත්‍රී 09.00 සිට හෙට අළුයම 01.00 දක්වා රථ වාහන ගමනා ගමනය එලෙස සීමා කරන බවයි පොලිසිය පැවසුවේ. 

පෙරහැර කොස්ගම, කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර කොස්ගම පූගොඩ මාර්ගයේ කනම්පැල්ල හන්දියට පිවිසෙනවා. 

ඉන් අනතුරුව කනම්පැල්ල හන්දියෙන් දකුණට හැරී කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කඩුගොඩ හන්දිය දක්වා ගමන් කෙරෙන පෙරහැර යළි එම මාර්ගය ඔස්සේ විහාරස්ථාය වෙත ගමන් කිරීමට නියමිතයි. 
 

එබැවින් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන් හා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. 

ඒ අනුව කොළඹ දෙස සිට අවිස්සාවේල්ල, රත්නපුර සහ හැටන් පෙදෙසට ගමන් කරන වාහන කොස්ගම, කළුඅග්ගල හන්දියේ පිහිටි ඔරලෝසු කණුව අසලින් දකුණු දෙසට ඇති ලබුගම මාර්ගයේ ගමන් කළ යුතුයි. 

කිලෝමීටර් 12ක් පමණ එම මාර්ගයේ ගමන් කිරීමෙන් අනතුරුව තුන්මෝදර හන්දියෙන් වමට ඇති         තුන්මෝදර - අවිස්සාවේල්ල මාර්ගයේ කිලෝමීටර් 08ක් ගමන් කිරීමෙන් පසු පුවක්පිටිය හන්දියෙන් දකුණට හැරී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් කරන වාහන රන්වල පහණ අසලින් දකුණට ඇති ඇස්වත්ත, කිරිඳිවෙල මාර්ගයේ කිලෝමීටර් 08ක් පමණ ගමන් කිරීමෙන් පසුව වමට ඇති කිරිඳිවල - කොළඹ මාර්ගයට පිවිසිය හැකි වනවා.