වවුනියාව,ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමුවන හරස්වීදියේ නිවසකින් පසුගිය මැයි මස 31 වැනිදා මාස අටක් වයසැති දරුවා පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු ඊයේ(08) මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා.
මීට පෙර දරුවා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා.
වවුනියාව පොලිසිය පැවසූවේ 31 වැනිදා අලුයම වෑන් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වු ඇති බවයි.
වෂුදරන් වානිෂන් නමැති දරුවෙකු එලෙස පැහැර ගැනීමට ලක්ව තිබුනා.
දරුවාගේ මව පැවසූවේ දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර,පියා හා තමා අතර කලෙක පටන් ආරවුලක් හටගෙන ඇති බවයි. අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්ඩායමක් යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවද දරුවාගේ මව සදහන් කළා.
පොලිසිය පැවසූවේ සිදුකළ සූක්ෂම මෙහෙයුමක් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවු බවයි.
දරුවාගේ පියා මීට පෙර එල්ටිටිඊ සංවිධානයේ බුද්ධි නිළධාරියෙකු ලෙසද කටයුතු කොට ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සදහන් කළා.