Thursday, May 2, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසය වෙනස්කල "සීක් ජාතිකයා" (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉතිහාසයට නව වෙනස්වීමක් එක් කරමින් මහ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ ආරක්ෂක භට පිරිස් සදහා පළමු වරට සීක් ජාතිකයෙක් එක්ව තිබෙනවා. 

22 හැවිරිදි චාරන්ප්‍රීට් සිං ලාල් නම් මෙම හමුදා නිලධාරියා ඉන්දියාවේ,පන්ජාබ් හි උපත ලබා ඇති අතර කුඩා කලදී බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වී තිබෙනවා. 

දෙවන එලිසබෙත් මහ රැජිණගේ නිල උපන් දින සමරුම අදට (09) යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් පවත්වනු ලබන හමුදා උත්තමාචාරය වෙනුවෙන් හමුදා සෙබළුන් 1000 ක් සහභාගී වීමට නියමිත අතර සීක් ජාතික චාරන්ප්‍රීට් සිං ලාල් ද ඒ අතර වනවා.

බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව රැජිණගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින හමුදා සාමාජිකයින් "කොල්ඩ්ස්ට්‍ර්ම් ගාර්ඩ්ස්" යනුවෙන් හදුන්වනු ලබන අතර ඔවුන් විසින් පලදිනු ලබන කළු පැහැති උස් හිස් වැසුම ගැන ලොව පුරා අවධානය යොමුවනවා.

කෙසේ වුවත් සීක් ජාතිකයෙකු හට එවැනි හිස් වැසුමක් පැළදීමට අවසර නැති බැවින් ඔහු සිය සම්ප්‍රදායික හිස් වැසුම පැළදීමට නියමිත වනවා. 

බ්‍රිතාන්‍ය රැජිණගේ ආරක්ෂාව සදහා යොදවා සිටින ආරක්ෂක භටයින්ගේ හිස්වැසුම නොපැලද හමුදා භටයෙක් සිය රාජකාරියේ යෙදෙන පළමු අවස්ථාව මෙය වනවා.

ඇත්ත වශයෙන්ම මෙය සුවිශේෂි අවස්ථාවක්. මා වගේ තවත් අන්‍ය ආගම් වල විශාල පිරිසක් බ්‍රිතාන්‍ය හමුදාවට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේක ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගැනීම සදහා උපකාරී වේ යැයි සීක් ජාතික හමුදා නිලධාරි චාරන්ප්‍රීට් සිං ලාල් කියා සිටියා.

මම හමුදාවට තේරී පත්වුනා කියා දැනගත් දවසේ මගේ අම්මා බෙහෙවින් සතුටු උනා. මම ආඩම්බර වෙනවා සීක් හිස්වැස්ම පළදින පළමු  "කොල්ඩ්ස්ට්‍ර්ම් ගාර්ඩ්ස්" වරයා බවට පත්වීමට හැකියාව ලැබීම ගැන.